![හිටපු සුරාබදු කොමසාරිස්ට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට දින දෙයි හිටපු සුරාබදු කොමසාරිස්ට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට දින දෙයි](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/10/sura-badu.jpg?quality=100&f=auto)
හිටපු සුරාබදු කොමසාරිස්ට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට දින දෙයි
අධිකරණයට අපහස කළේ යැයි චෝදනා කරමින් හිටපු සුරාබදු කොමසාරිස් ඒම්.ජේ. ගුණසිරි ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මැයි මස 29 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
මෙම පෙත්සම අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසයි.
ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 29 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
බලපත්‍රලත් මත්පැන්හල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය රජය සමයේ පවතින නීතියට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බවයි.
එම අතුරු තහනම් නියෝග උල්ලංඝනය කරමින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.