ලසන්තගේ දියණියගේ ලිපියට අගමැතිනියගෙන් පිළිතුරක්

ලසන්තගේ දියණියගේ ලිපියට අගමැතිනියගෙන් පිළිතුරක්

සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය විසින් යොමු කළ ලිපිය තමන්වෙත ලැබී ඇති බවත් ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

එමෙන්ම, අහිම්සා වික්‍රමතුංග මහත්මිය එම නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාට චෝදනාවක් කරමින් ඒවා ඇති ලිපිය සම්බන්ධයෙන් ඇයට පෞද්ගලිකව පිළිතුරු ලිපියක් යැවීමට බලාපොරොත්තු වන බවත් අගමැතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි සූදානම්, ඉස්සරත් අපගේ ස්ථාවරය වුණේ ඒක. වර්තමානයේ ද අපගේ ස්ථාවරය එයයි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය මතුකර ඇති කරුණු සහ ඇයගේ වේදනාව අපට හොඳින් තේරෙනවා.

යුක්තිය සාධාරණය ඉටු කරන බවට අප ඇයට සහතිකයක් දෙනවා. නීතියේ නිසි ක්‍රියාදාමය අනුව කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා.

ඒ අයට යුක්තිය ඉටු වෙන්න ඕන. ඒක තමයි රජයේ මතය.