අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයට හයක් අත්අඩංගුවට

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයට හයක් අත්අඩංගුවට

අම්බලන්තොට පොලිස් වසමේ, මාමඩල ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ සිදුවූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය පැවසුවේ.

මෙම පිරිස තවත් නිවසකට ගොස් එහි සිටි තිදෙනෙකු කපාකොටා මෙම ඝාතනය කර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.

මෙහිදී එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, අම්බලන්තොට, මාමඩල පදිංචි හෙට්ටිආරච්චිගේ ප්‍රභාත් ඉන්දික (අවු: 39), හේවා කුමානායක රසික ප්‍රියදර්ශන (අවු:45) සහ මාධව උදයංග මල්ලිකාරච්චි (අවු: 34) යන තිදෙනාය.

මරණකරුවන් හා තවත් පාර්ශවයක් අතර නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සිදුවු ආරවුලක් හේතුවෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.