හබරණදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් – 16ක් රෝහලට
හබරණ, පොලොන්නරුව මාර්ගයේ මින්නේරිය 07 කණුව දේවාල පල්ලම අසල ප්රදේශයේදී බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
අද (29) උදෑසන 11:00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ 16 දෙනෙකු පොළොන්නරුව මහ රෝහලට සහ හබරණ ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි, වාර්තා වන්නේ.
බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ සීටීබී බස් රථයක් සහ කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව සඳහන්.
කටුනායක කර්මාන්තශාලාවේ සේවකයෙකුගේ අවමංගල උත්සවයකට සහභාගි වීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයට ගොස් ඇති එක් බස් රථයක මගීන් ලෙස 35 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයින් රැගත් බස් රථයේ සිටි සේවකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන බවත් සෙසු මගීන් ලංගම බස් රථයේ ගමන් කළ මගීන් බවත් වාර්තා වේ.
අනතුරට හේතුව බස් රථ දෙකම අධික වේගයෙන් ධාවනය කිරීම බවයි, මින්නේරිය රථ වාහන පොලිසිය පැවසුවේ.
ලංගම බස් රථයේ රියදුරු ද තුවාලකරුවන් අතර සිටින බවත් පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.