කෝටි 6ක ’’කුෂ්’’ සමග කටුනායකදී දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටි 6ක ’’කුෂ්’’ සමග කටුනායකදී දෙදෙනෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, පිට කර ගෙන යමින් තිබූ රුපියල් හය කෝටි හැට තුන් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (20) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතරින් පළමු ගුවන් මගියා කොස්ගම, සාලාව යුධ හමුදා කදවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

අනෙක් ගුවන් මගියා අම්පාර , මහඔය ප්‍රදේශයේ පදිංචි , රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි කාන්තාවකි .

ඔවුන් දෙදෙනා තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද උදෑසන 10.45ට පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ මෙම ” කුෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 630 ක ප්‍රමාණයක් සූක්ෂම ලෙස සගවා තිබී ඇත .

මොවුන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (20) ඉදිරිපත් කර රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට නියමිතය .