10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරයේ මංගල රැස්වීම අද (21දා) පෙරවරු 10ට ආරම්භ කෙරෙන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. එම උත්සවය ඉතා චාම් එහෙත් අභිමානවත්ව පැවැත්වීමට නියමිතව තිබේ.

පසුගිය 14 දා පැවැති මහ මැතිවරණයෙන් තේරී අභිනව මන්ත්‍රීවරුන් ලෙස පත්වීමට නියමිත සියලුම දෙනාට පෙරවරු 09 වන විට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මහලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය දැනුම් දී ඇත.

ඒ අනුව අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්කිරීමේ සීනුව නාද කිරීමෙන් පසුව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පළමුව සෙංකෝලය කාරක සභා අවස්ථාවේ තැබිය යුතු රඳවනයේ රඳවන අතර ඒ සමගම මහලේකම්වරිය, නියෝජ්‍ය මහලේකම් සහ සහකාර ලේකම් මෙන්ම පත්වීමට නියමිත අභිනව මන්ත්‍රීවරුන් සියලු දෙනා සභාවේ අසුන් ගනු ඇත.

අනතුරුව මහ ලේකම්වරිය විසින් නව රැස්වීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනපති විසින් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය කියවනු ලබයි. පසුව මන්ත්‍රී දිවුරුම් දීම සිදු වනු ඇත.

ඉන්පසුව 10 වැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයකු තෝරා පත් කර ගැනීම සිදුකෙරේ. එම තේරී පත්වූ ඔහු හෝ ඇය කථානායක අසුනෙහි අසුන් ගන්නා අතරවාරයේ වේත්‍රධාරී විසින් සෙංකෝලය නියමිත කොටසේ තැන්පත් කිරීම සිදු කෙරේ.

අනතුරුව සියලු මන්ත්‍රීවරුන් කථානායක ඉදිරියෙහි නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට සඳහන් දිවුරුම් ප්‍රකාශය සිදු කිරීමෙන් නිල වශයෙන් අභිනව පාර්ලිමේන්තු මන්තීවරුන් වශයෙන් අසුන් ගනු ඇත.

අනතුරුව නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කර ගැනීම මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සභානායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නම් කර ගැනීම සිදු කෙරේ.

පෙරවරු 11ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණීමට නියමිත අතර ඔහු පිළිගැනීම අභිනව කථානායක විසින් නිල වශයෙන් සිදු කෙරේ.

ඒ සඳහා ආණ්ඩු පක්ෂ ප්‍රධානීන් මෙන්ම විපක්ෂ ප්‍රධානීන් ද සහභාගි වනු ඇත. එම කටයුත්ත සඳහා වෙනදා මෙන් ආචාර වෙඩිමුර, ජයමංගල ගාථා හෝ වෙනත් විශේෂ කටයුත්තක් සිදු නොකෙරෙන බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පැවසීය.

ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව ඔහු පෙරවරු 11.30ට සෙංකෝලය පෙරටු කර ගනිමින් කථානායක සහ ලේකම් මණ්ඩලය සමගින් සභාවේ මැදින් පැමිණ කථානායක අසුනෙහි අසුන් ගෙන නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකර පාර්ලිමේන්තුව ලබන දෙසැම්බර් 03 දක්වා කල් දැමීම සිදු කරනු ඇත.

දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මේ මස 25, 26 සහ 27 යන දිනයන්හි දී පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා අංක 01 හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තෙදින වැඩමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාවේ කාර්ය භාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදිත ක්‍රියාවලිය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පිළිබඳව මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර, මන්ත්‍රීවරයන්ට ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන ප්‍රායෝගික සැසියක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පාර්ලිමේන්තුව රැස්වන පළමු වන දිනය වන අද දිනයේ ඒ අවට විශේෂ ආරක්ෂාවක් ද යෙදවීමට නියමිතය.