ඇමරිකාව නිකුත් කළ අනතුරු හැඟවීමේ නිවේදනය ඇමරිකාව ලවාම ඉවත් කරගැනීමේ තීරණයක්

ඇමරිකාව නිකුත් කළ අනතුරු හැඟවීමේ නිවේදනය ඇමරිකාව ලවාම ඉවත් කරගැනීමේ තීරණයක්

ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කල් තියා ලද බුද්ධි තොරතුරු අනුව ගත යුතු සියලු ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබියදී ඇමරිකාව නිකුත් කළ අනතුරු හැඟවීමේ වාර්තාව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ලවා ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ මේ වන තෙක් මෙරට ආරක්ෂක අංශ ඒ සම්බන්ධව ගෙන ඇති සියලු ආරක්ෂක විධි විධාන හා විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව මෙරට ඇමරිකානු තානාපතිනිය දැනුවත් කිරීමට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම මගිනි.

මෙරට ආරක්ෂක අංශ ප්‍රධානින් හා ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරින් අතර සාකච්ඡාවක් මෙම සිකුරාදා පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ ඒ අනුවය.

පසුගිය ජනාධිපතිවරණයට පෙර සිට ලද බුද්ධි තොරතුරු අනුව මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල් ජාතිකයන් ඇතුළු විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වී ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

එසේ තිබියදී ඇමරිකාව හදිසියේම නිකුත් කළ අවදානම් නිවේදනයත් සමග චීනය, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, කැනඩාව ඇතුළු රටවල් ගණනාවක් තම රටවල සංචාරකයන්ටද එම නිවේදනය යොමු කර තිබිණි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබියදීත් ඇමරිකානු තානාපති කාර්යාලය හදිසි වාර්තාවක් යොමු කිරීමෙන් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි පහරක් එල්ලවනු ඇතැයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රජයට පෙන්වා දී තිබිණි.

එම වාතාවරණය මත දැනට ගෙන ඇති ආරක්ෂක ක්‍රියාමාර්ග දැනුවත් කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය මගින් එම නිවේදනය ඉවත් කරවා ගැනීමට සාකච්ඡා කරන බවයි පැවසෙන්නේ.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් සිකුරාදා (25) දිනද, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැඳවා තිබිණි.