වන අලි රංචුවක් ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටෙයි – අලි දෙදෙනෙකු මරුට

වන අලි රංචුවක් ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටෙයි – අලි දෙදෙනෙකු මරුට

කොළඹ සිට මඩකලපුව දක්වා ඉන්ධන රැගෙන යමින් තිබූ දුම්රියක අද අලුයම 4,00 ට පමණ මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී අලි රංචුවක් ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් වන අලි දෙදෙනෙකු මියගොස් තවත් වන අලි කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

එම දුම්රියේ ටැංකිවල ඉන්ධන ගැලුම් 11,000 අඩංගු වී තිබූ බවත්, ටැංකි 07 ක ඩීසල් ද, ටැංකි 04 ක පෙට්‍රල් තිබී ඇති අතර ඉන් ඉන්ධන ටැංකි 4 ක් පීලි පැන ඉන් දෙකක් පෙරළී තෙල්කාන්දු වෙමින් පවතින බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම දුම්රියේ රියැදුරු ඇතුළු සේවකයන් හතර දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් කිසිවකුට තුවාල සහ ආපදාවක් සිදුව නොමැති බවද මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් ගල්ඔය, මඩකලපුව දුම්රිය ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අවහිර වී ඇති අතර එම ස්ථානයේ ආරක්ෂාවට මින්නේරිය සහ හබරණ පොලිසියේ විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.

මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මේ වන විට මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නැවතී ඇති අතර අද උදෑසන කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු දුම්රියන් දෙක අවලංගු කර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.