BRICS සමුළුවට ජනපති එක් නොවීම ගැන කනගාටුවෙනවා

BRICS සමුළුවට ජනපති එක් නොවීම ගැන කනගාටුවෙනවා

බ්‍රික්ස් සමුළුවට (BRICS Summit) රටක් ලෙස සහභාගී විය යුතු බවත්, ඊට රටේ ජනාධිපතිවරයා සහභාගී නොවීමට තීරණය කිරීම පිළිබඳ කනගාටු වන බවත්, සමගි ජන බලවේගයේ මහ මැතිවරණ අපේක්ෂක ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

ලෝකයේ යම්කිසි පරිවර්තනයන් වන බැවින් මෙවැනි සමුළුවලට සහභාගී වී එහි සාමාජිකත්වය ගැනීම වැදගත් බව ඊයේ (16) කොළඹ සමගි ජන සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම සඳහන් කළේය.

“බ්‍රික්ස්” සමුළුව (BRICS Summit) තියෙනවා.

බ්‍රික්ස් කියන එකට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් ඒකාබද්ධ වෙලා තියෙනවා.

ලෝකයේ දැන් ලොකු වෙනස්කම් සිදුවෙමින් යනවා. ඒ වෙනස්වීම් විදේශ ප්‍රතිපත්ති හරහා හඳුනාගෙන අපි එතනට යන්න ඕනි.

ඉතින් මේ බ්‍රික්ස් කණ්ඩායම හැදුවේ ලෝකයේ ජනගහනයෙන් 40%ක් ඉන්න මේ රටවල් 05 තුළ.

ඒ වගේම දළ දේශීය නිෂ්පාදකය දිහා බැලුවොත්, ආර්ථික ශක්තිය දිහා බැලුවොත් ලෝකයෙන්ම දළ දේශීය නිෂ්පාදනයෙන් ඒක 30%ක් වෙනවා.

තව විදියකට කියන්න පුළුවන් ජී 7 කියලා රටවල් තියෙනවා.

ඒ කියන්නේ බටහිර ලෝකයේ රටවල්, ශක්තිමත්ම ආර්ථිකයන්. මේ බ්‍රික්ස් රටවල් ටික මේ ආර්ථිකයන් තරම්ම විශාලයි.

ලෝකයේ යම්කිසි පරිවර්තනයන් වී ගෙන යනවා. ඒකයි මේ බ්‍රික්ස් එක හැදුවේ.

බ්‍රික්ස් එක හදලා අවුරුදු 15ක් වෙනවා. ඉන්පසු ලංකාවේ රජය තීරණ කළා අපිත් බ්‍රික්ස් එකට සම්බන්ධ විය යුතුයි කියලා.

අපේ විදේශ ප්‍රතිපත්තිය හදන්න ඕනි මේ ගැන දැන ගෙනයි. දැන් බ්‍රික්ස් රටවල් ජාත්‍යන්තර සංවර්ධන බැංකුවකුත් හදලා තියෙනවා.

ඒ අය අනිත් රටවලටත් බැඳෙන්න ඉඩ ලබා දීලා තියෙනවා. අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්.

ඒක ඒ විදියටම තියෙනවා. බ්‍රික්ස් එකට බැඳෙන්න පසුගිය රජය ගත් තීරණය හරි තීරණයක්.

මගේ කනගාටුව මෙතන ප්‍රකාශ කරන්න ඕනි.

බ්‍රික්ස් සමුළුව තියෙනවා දකුණු අප්‍රිකාවේ.

ඒ සමුළුවටත් අපේ ජනාධිපතිතුමාම සම්බන්ධ වෙන්න ඕනි.

අපි බ්‍රික්ස් එකේ සාමාජිකත්වය ගත යුතුමයි. අපි මේ සමුළුවට ඉහළම මට්ටමින් යන එක නතර කළා. ඇයි නතර කළේ?

ජනාධිපතිතුමාව පත් කරලා තියෙන්නේ මුළු රට දිහාම බලලා රට ගොඩනගන්නත්, ආර්ථිකය ගොඩනගන්නත්.

ඔහු බ්‍රික්ස් එකට සම්බන්ධ වෙන්න ඕනි. නමුත් ඔහු සම්බන්ධ වුණේ නෑ.

ඒක ලොකු ගැටලුවක්. මම නැවතත් කියනවා මේ ආණ්ඩුවට, අපි බ්‍රික්ස් එකට සම්බන්ධ වෙන්න ඕනි.

මේකෙන් අපිට ගිලිහී යන්න බැහැ. මේක අපේ රටට තිබෙන තව අවස්ථාවක්. ”