කෙහෙළිය වන්දි ඉල්ලා දැමූ පෙත්සම ඉල්ලා අස් කරගනී

කෙහෙළිය වන්දි ඉල්ලා දැමූ පෙත්සම ඉල්ලා අස් කරගනී

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවෙන් රුපියල් කෝටි දහයක වන්දියක් ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ මහතා විසින් ඉල්ලා අස් කර ගෙන තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවට අධිකරණයට දැනුම් දුන් අතර අධිකරණයෙන් ඊට අවසර ලැබුණි.

මෙම අයිතිවාසිකම් පෙත්සම වැඩ බලන අගවිනිසුරු මෘර්ද ප්‍රනාන්දු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.