මැදපෙරදිග යුද උණුසුමෙන් ලෝක තෙල් මිලත් ඉහළට

මැදපෙරදිග යුද උණුසුමෙන් ලෝක තෙල් මිලත් ඉහළට

මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුද උණුසුම හේතුවෙන් ලෝක තෙල් මිලද ඉහළ ගොස් තිබෙනවා.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැද පෙරදිග ගැටුම් උත්සන්න වීමෙන් තෙල් සැපයුම කඩාකප්පල් විය හැකි බවට මතුව ඇති භීතිය හේතුවෙන් මෙලෙස ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මේ වන විට බොරතෙල් බැරලයක මිල පෙර පැවති මිලට වඩා සියයට 1ත් 5ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

අමෙරිකානු බලශක්ති තොරතුරු දත්ත වලට අනුව ඉරානය යනු ලෝකයේ 07වන විශාලතම තෙල් නිෂ්පාදකයායි.

ඔපෙක් සමූහයේ තුන් වන විශාලතම සාමාජිකයා වන්නේද ඉරානයයි.

යුධ උණුසුම ඉහළ යාමත් සමග ඕමානය සහ ඉරානය අතර පිහිටා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වන නාවික මාර්ගයේ ගමනාගමනය සම්බන්ධයෙන්ද මේ වන විට දැඩි බියක් මතුව තිබෙනවා.

ලෝකයේ තෙල් වෙළඳාමට ඍජුව බලපාන මෙම නාවික මාර්ගයේ ලෝකයේ සැපයුම් වලින් සියයට 20ක් යාත්‍රා ගමන් කිරීම විශේෂත්වයක්.

ඔපෙක් සාමාජිකයින් වන සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙන්ම ඉරාකයේද ඉන්ධන අපනයනවලින් බහුතරයක් යාත්‍රා කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහායි.

පලස්තීන – ඊශ්‍රායල් යුධ ගැටුම තවත් උණුසුම් කරමින් ඉරානයද මේ වන විට ඊට මැදිහත් වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ද ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර මිසයිල ප්‍රහාර සංඛ්‍යාව 180ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහෙත් ඉන් බහුතරයක් විනාශ කිරීමට හැකි වූ බවයි ඊශ්‍රායලය පවසන්නේ.

කෙසේවෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ ඉරානය ඊයේ රාත්‍රියේ විශාල වරදක් සිදු කළ බවයි.

ඊට වන්දි ගෙවීමට සිදු වන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

ඊශ්‍රායලයට හිතවත් රටවල් රැසක්ද ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයද අද රැස් වීමට නියමිතයි.

ඒ, දෙරට අතර සටන් විරාමයක් ඇති කර ගැනීමේ අරමුණෙන්.