කඩාකප්පල් ක්‍රියා හරහා දේශපාලන බලය ලබා ගන්නා වැඩසටහන් අපි ළඟ නැහැ – සජිත්

කඩාකප්පල් ක්‍රියා හරහා දේශපාලන බලය ලබා ගන්නා වැඩසටහන් අපි ළඟ නැහැ – සජිත්

මහ මැතිවරණයේ දී කඩාකප්පල්කාරී ක්‍රියා හරහා දේශපාලන බලය ලබාගැනීමේ වැඩසටහනක් තමන් සතුව නැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රට සෑම අතකින් ම අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් මේ තුළින් අසරණ වන්නේ අතිමහත් බහුතර ජනතාව බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ රට වෙනුවෙන් ජයග්‍රහණය කර රට දිනවීමට කටයුතු කිරීම බවත් වැල්ලම්පිටියේ දී කොලොන්නාව ආසන ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකදී ඔහු මේ බව පැවසීය.

බහුවිධ ගැටලුවලට මුහුණ දී ඇති ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසදුම් ලබා දීමේ දී නායකත්වය ලබා දෙන බවත් මේ වැඩපිළිවෙළ හා දර්ශනය තුළ රට දිනවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජත් ජනතාවත් ජයග්‍රහණය කිරීමේ ක්‍රියාවලිය එක් අයකුට කළ නොහැකි දෙයක් බවත් සියලු දෙනාම සක්‍රීය ව දායක විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

රටේ ඇති බලවත්ම දේශපාලන බලවේගය වන සමගි ජන බලවේගය කඩාකප්පල් කිරීම හෝ ප්‍රශ්න ඇති කර දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවට ප්‍රගතිශීලී ව කටයුතු කර රටටත් ජනතාවටත් ධනාත්මක විසදුම් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

යෞවනයන්ට සමාජයේ අභිමානවත් ජීවිතයක් ගත කිරිමට අවස්ථාව ලබා දී තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් තරුණයන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

කාන්තාවන් විශ්‍රාමිකයන් ඇතුලු ජන සමාජයේ සෑම කොට්ඨාසයක් ම මුහුණ දෙන ගැටලු වලට විසදුම් දිය යුතු බවත් මැතිවරණ පසුබැමකට ලක් වුව කියා මේවා නොසලකා හැරිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ප්‍රශ්න සහ අභියෝගවලට සැම අවස්ථාවකම ශක්තිමත්ව දායක විය යුතු බවත් සමගි ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ එය බවත් ඔහු කීවේය.

සමගි ජන බලවේගයට සෘණාත්මක නොව ධනාත්මක ප්‍රගතිශීලී ප්‍රතිපත්තියක් ඇති බවත් පසුබැමකට ලක් වුවත් නැවත ගොඩනැගී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.