විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් වැඩ අරඹයි

විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් වැඩ අරඹයි

ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සහයෝගයක් ලබා දෙන බවත් මෙතෙක් පැවති සාමකාමී තත්ත්වය මැතිවරණ දින හා පසුවත් බලාපොරොත්තු වන බවත් රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂක ශෙව්චෙන්කෝව් එව්ජෙනී පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (19) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

ලිපිගොනු හා තාක්ෂණික සහයෝගය ලබා දී ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සහාව මේ වනවිටත් ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමට ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දී ඇති බව රුසියානු සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, සැප්තැම්බර් 21 වන දා කිසිදු පාර්ශවයකට බලපෑමකින් තොරව සාමකාමී මැතිවරණයක් පවත්වනවා ද යන්න නිරීක්ෂණය කිරීමට සියල්ල සූදානම් බව ය.

ජනාධිපතිවරණ නිරීක්ෂණය කටයුතු වෙනුවෙන් බංග්ලාදේශය, නේපාලය, රුසියාව, පිලිපිනය, භූතානය, මාලදිවයින ඇතුළු රටවල් 7ක ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.

ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් මෙම ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ඊයේ (18) ශ්‍රී ලංකාව වෙත පැමිණියහ.

මේ අතර, කොළඹ, යාපනය, ගාල්ල ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශ ආවරණය වන ලෙස මැතිවරණ නිරීක්ෂණය කටයුතු සිදු කිරීමට නියමිත බව මාලදිවයින නියෝජනය කරමින් පැමිණි නිරීක්ෂක ෆුවාඩ් තවුෆීක් සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරණය දා ඡන්දය ලබා දීමට යන විට ඡන්දදායකයා හොඳින් සූදානම් වී යා යුතු බවත් අපේක්ෂකයන් 38ක් තරග කරන බැවින් තමා ඡන්දය ලබා දෙන අපේක්ෂකයාගේ සලකුණ ඡන්ද පත්‍රිකාවේ සඳහන් කර ඇති ස්ථානය පිළිබඳ දළ අදහසක් ඡන්ද මධ්‍යස්ථානය වෙත යාමට පෙර ඇති කරගෙන යෑම කාලය ඉතිරි කරගැනීමට හේතු වනු ඇති බවත් ය.

නීතියට අනුව සෑම නිලධාරියෙක් ම සේවය කිරීමත් ඡන්දදායකයා සාමකාමීව කටයුතු කිරීමත් මගින් සාර්ථක මැතිවරණයක් පැවැත්විය හැකි බව මාලදිවයින නියෝජනය කරමින් පැමිණි මැතිවරණ නිරීක්ෂකවරයා පැවසීය.

මෙම ජාත්‍යන්තර නියෝජිතයින්ට අමතරව යුරෝපා සංගමය නියෝජනය කරමින් නිරීක්ෂකයන් 80 ක් හා පොදු රාජ්‍ය මණ්ඩලයෙන් දෙදෙනෙකු හා දේශීය මැතිවරණ නිරීක්ෂකයන් ඇතුළු සිවිල් සංවිධාන මෙවර මැතිවරණ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් සහභාගී වීමට නියමිතය.