රට රැකියා ජාවාරමට හසුවූ පුද්ගලයන් පිරිසක් ජාවාරම්කරු පැහැරගෙන යයි

රට රැකියා ජාවාරමට හසුවූ පුද්ගලයන් පිරිසක් ජාවාරම්කරු පැහැරගෙන යයි

යුරෝපා රටවල රැකියා සඳහා යවන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

සැකකරුවන් පැහැර ගැනීමට යොදාගත් ලොරි රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් සැකකරුගේ මහා පරිමාණ වංචාවට හසුවූ පුද්ගලයන් රැසකගෙන් කීප දෙනෙකු බව පොලිසිය කියයි.

පැහැර ගත් පුද්ගලයා කැනඩාවේ සිටින බවට හඟවමින් වසරකට ආසන්න කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතිය විසින් හෝමාගම, ත්‍රිකුණාමලය, ඇලහැර හා චීන වරාය ආදී ප්‍රදේශවල පුද්ගලයන් විශාල පිරිසක් රවටා මෙම මුදල් වංචාව සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ මෙම වංචාවට සමීප ඥාතීන් පවා හසුව ඇතැයිද පොලිසිය කියයි.

පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ නිවසකට ලොරියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තම පුතුව පැහැරගෙන ගිය බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම ලොරියේ ලියාපදිංචි අංකය ඔස්සේ හා තොරතුරු ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයාව හෝමාගමට ලොරියෙන් රැගෙන යන අතරවාරයේදී අතරමගදී තවත් ලොරි රථයකට මාරු කර ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම සැකකරුවන් පැහැර ගත් පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ නිවසක පැය තුනකට අධික කාලයක් රඳවාගෙන සිටිමින් ලබාගත් මුදල් ඉල්ලා තර්ජනය කර ඇතැයිද එහිදී එම පුද්ගලයන් විසින් ඩුබායි රාජ්‍යයේ රැකියාවක් කරන පැහැරගත් පුද්ගලයාගේ නැගණියට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතුමක් ලබාගෙන ඔහුව පෙන්වමින් ඔවුන්ගෙන් ලබාගත් මුදල් ලබා නොදෙන්නේ නම් එම පුද්ගලයාගේ ගෙල කපා ඝාතනය කරන බවටත් තර්ජනය කර ඇතැයි ද ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

එලෙස වීඩියෝ තාක්ෂණය ඔස්සේ කරන ලද තර්ජනය සම්බන්ධයෙන් රූප රාමු අඩංගු වීඩියෝව පටිගත කර පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයාගේ ඩුබායි රාජ්‍යයේ වෙසෙන නැගණිය විසින් මවට එවීමෙන් අනතුරුව එම වීඩියෝව ඇය පොලිසිය වෙත පැමිණිල්ල සමග ඉදිරිපත් කර තිබූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

පැහැරගැනීමට සම්බන්ධ සැකකරුවන් බහුතරයක් දෙනා පැහැර ගත් පුද්ගලයා වෙත මුදල් ලබා දී ඇත්තේ ඉඩකඩම්, රන් ආභරණ යානවාහන උගස්කර හා පොලියට මුදල් ලබාගෙන බවත් නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ ගතවීමට උත්සාහ දැරීම හේතුවෙන් හා නීත්‍යානුකූල නොවන අයුරින් වංචනික ලෙස මුදල් ලබාගත් පුද්ගලයා කටයුතු කිරීමට යාම හේතුවෙන් ඔවුන් තවත් අසරණ වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.