අනුරගෙන් ආරක්ෂක අංශවලට ඉල්ලීමක්

අනුරගෙන් ආරක්ෂක අංශවලට ඉල්ලීමක්

මැතිවරණයෙන් පසු කිසිදු කලබලයක් ඇති වීමට ඉඩ නොතබන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත්, තමන්ට ඡන්දය නොදුන් කිසිවෙකුට නිය තුඩක හානියක් වීමට ඉඩ නොතබන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එක පැයක් හෝ නාස්ති නොකර ක්ෂණිකව දිවුරුම් ලබා දෙන බව දිසානායක මහතා සඳහන් කළේය.

ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බවද දිසානායක මහතා කීවේය.

දිසානායක මහතා මේ බව පැවසුවේ කුරුණෑගල පැවති ජනරැලිය අමතමිනි.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන බවත්, ඔවුන්ට ලබා දී ඇති රජයේ නිවාස නැවත රජයට පවරා ගන්නා බවත් ඔහු මෙහිදී කීවේය.

“අපේ රටේ කොයිතරම් ඡන්ද තිබ්බත් මේ මැතිවරණය තමයි ජනතාව ඉතාම උනන්දුවෙන් ඉන්න මැතිවරණය.

21ත් කල් වැඩියි වගේ දැනෙනවා නේද. ඉස්සර නම් ඡන්දය එනකල් බලන් ඉන්නේ දේශපාලකයා. අද ජනතාව බලන් ඉන්නවා තමන්ගේ පාලනයක් මේ රටේ ඇති කරන්න.

දේශපාලකයෝ විශාල ලෙස කලබලයට පත් වෙලා තියෙනවා.

ඉදිරි දින 10 තුළ ඒගොල්ලො විශාල කුමන්ත්‍රණ කරන්න බලන් ඉන්නවා කියලා අපිට ආරංචියි.

අසත්‍ය ප්‍රචාර, අවලාද, බොරු චෝදනා කරන්න පටන් අරන් තියෙනවා. ඒවට දැන් ජනතාව අහුවෙන්නේ නෑ. ඉදිරි සතියේදී අපිට විරුද්ධව විශාල දැන්වීම් ප්‍රමාණයක් නිකුත් කරන්න බලන් ඉන්නවා.

මං කියනවා රනිල් වික්‍රමසිංහට ‘අපරාදේ සල්ලි’. පුරවැසියා සක්‍රීයව මේ ඡන්ද ව්‍යාපාරය කරට අරන් තියෙනවා. ඔවුන් ස්වේච්ඡාවෙන් මාලිමාවට වැඩ.

සජිත් ප්‍රේමදාස තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට මාධ්‍ය නාලිකාවක් තෝරගත්තා. තමන්ව පුම්බන්න මාධ්‍ය නාලිකාවක් පාවිච්චි කරනවා.

ඔවුන් හිතුවා ඉස්සර වගේම මේ මැතිවරණය මාධ්‍ය ඔස්සේ මඩ ගහලා, අසත්‍ය ප්‍රචාර කරලා දිනන්න පුළුවන් කියලා. දැන් එහෙම බෑ.

දැන් අර දඹදෙණිය පැත්තේ මන්ත්‍රීවරයෙක් කියනවා 22වෙනිදා කලබලයක් ඇති කරන්න ලෑස්ති කරලා තියෙනවා කියලා.

අපේ රටේ ඡන්දවලින් පස්සේ එහෙම කලබල වුණ ඉතිහාසයක් තිබුණා. හැබැයි ජාතික ජනබලවේගය බලය ගන්නේ ඒ කැත දේශපාලනය වෙනස් කරන්න.

ඒ නිසා 22 වෙනිදා අපිට ඡන්දය නොදුන් , වෙන පක්ෂයකට වැඩ කළ කිසිවෙකුටත් නිය තුඩකින්වත් හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ.

ඊළඟට කියනවා අපි ජාතික ජනබලවේගය බලයට ආවට මාස 6ක්වත් කරන්නෙ නෑ කියලා.

මුලින් කිව්වා එන්නේ නෑ කියලා. දැන් කියන්නේ දුවන්නේ නෑ කියලා.

අපිත් අපේ රටේ ජනතාවත් මේ පරිවර්තනය වෙනුවෙන් වැඩ කළා, අවලාද ඇහුවා, හිත් රිදවීම් ඇති වුණා. හැබැයි ඒ කිසිවක් නොසලකා මේ ව්‍යාපාරය අල්ලන් ඉන්නවා.

ඒ අල්ලන් ඉන්නේ මාස හයෙන් ගෙදර යන්නද. පව්. මේ තමයි ලංකා ඉතිහාසයේ හැදෙන ප්‍රබලම ආණ්ඩුව.

ඡන්දයෙන් පස්සේ ඡන්දය දුන්න ජනතාවත්, ඡන්දය නොදුන් ජනතාවත් අනේ අපරාදේ ඡන්දය දෙන්න තිබුණා කියලා හිතලා මේ රට ගොඩනගන්න දායක වෙන ආණ්ඩුවක් අපි හදන්නේ.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ එක පැයක්වත් නාස්ති නොකර දිවුරුම් දෙනවා.

ලැබෙන පළමු අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවනවා. ඡන්දය පැරදුනාම රනිල් කොහොමත් ගෙදර. එතකොට එයා වටේ ඉන්න අය පාර්ලිමේන්තුව විසුරුවලා ගෙදර යවනවා.

හැබැයි අපිට පුළුවන් මාස එකහමාරකට ගෙදර යවන්න. ඔබට පුළුවන් එයාලව හැමදාම ගෙදර තියන්න. ඡන්දයෙන් පරද්දලා ගෙදර තියන්න පුළුවන් ඔබට.

අපි ව්‍යවස්ථානුකූලව රට පාලනය කරනවා.”