අග්බෝගේ ජීවිතය යළිත් අවදානමක

අග්බෝගේ ජීවිතය යළිත් අවදානමක

කලක් රෝගාතුරව සිට සුවය ලබමින් සිටි අග්බෝ ඇතා යළි රෝගාතුර වීමෙන් ජීවිත අවදානමකට ලක්ව ඇතැයි තිරප්පනේ ගොවීහු පවසති.

අග්බෝ ඇතාගේ ඉදිරි වම් පාදය අධික ලෙස ඉදිමීමකට ලක්ව මේ දිනවල ඇවිද යාමේ අපහසුතාවට පත්ව ඇති බවත්‍ ඇතා ගමන් කරද්දී ඉදිරි වම් පාදයට බර නොදී ඉතිරි පාද තුනෙන් ගමන් ගන්නා අයුරු දැකීම අග්බෝ සමීපයට යන කාගේත් නෙතට කඳුළක් ගෙන දෙන දසුනක් වී ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

වයස අවුරුදු 41ක් හා උසින් අඩි 07ක් වන අග්බෝ ඇතා මුල්වරට අසනීප වී ඇති බව තිරප්පනේ උලගල්ල ප්‍රදේශයෙන් අනාවරණය කර ගන්නා අතර, ඒ ඉකුත් වර්ෂයේ ජූලි මස 07වෙනිදාය.

එදින පටන් වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් හා නිලධාරීන් විසින් අවස්ථා 102කදී විවිධ ස්ථාන හා ප්‍රදේශවලදී අග්බෝ ඇතාට වෛද්‍ය ප්‍රතිකාර සිදු කර ඇත.

වෛද්‍ය ප්‍රතිකාර හමුවේ විටින් විට සුවය ලැබුවත් පාදයේ තුවාල මෙතෙක් නිට්ටාවටම සුව වී නොමැති නිසා ඇතා දැඩි අසරණභාවයට පත්ව තිබේ.

එම නිසා මේ දිනවල දිවා කාලවලදී පවා අග්බෝ ඇතා යළි ගම්වැදීමට පටන්ගෙන තිබෙන අතර ඒ අනුව තිරප්පනේ උලගල්ල, කණුමුල්ලේගම, වන්නම්මඩුව, ඇතුන්ගම, පිත්තලකොන්ඩෑරුම හා අලිස්ථාන යන ගම්මානවල සැරිසරමින් ජනතාව සමීපයට ඒමට පටන් ගෙන තිබේ.

දිවා කාලයේ ගම්වදින අග්බෝ ඇතා බැලීමට සිය ජීවිත අවදානම නොතකා කුඩා දරුවන්ද කැටුව වැඩිහිටියන් ඇතා සමීපයට යාමෙන් මිනිස් ජීවිතවලටද දැඩි අනාරක්ෂිත බවක් ඇති වී ඇත.

පෙරේදා (09) පස්වරුවේ තිරප්පනේ අලිස්ථාන වෙල්‍ යායට පැමිණි අග්බෝ ඇතා බැලීමට විශාල පිරිසක් ඒ අසලට රොක්වන්නටද විය.

ජනතාවගේ මෙම සමීපභාවය නිසා මෙන්ම පාදයේ ඉදිමීම උත්සන්න වීම නිසා ඇතාගේ ජීවිතයට යළි තර්ජනයක් එල්ල වී ඇති බවත් එසේම ගම්මානවලට පැමිණෙන අග්බෝ ඇතා පන්නා දැමීම සඳහා අලි වෙඩි දැමීමෙන් දැඩි හිංසනයක් ඇතාට එල්ල වී ඇති බවත් ජනතාව පවසති.

ඇතැම් දිනවල රාත්‍රියකට ඇතා පළවා හැරීමට අලි වෙඩි අතිවිශාල ප්‍රමාණයක් පුපුරවා හැරීමට සිදු වන බවද ගොවීහු කියති.

එහිදී අලි වෙඩි ඇතාගේ ශරීරයේ වැදී ඇතා අසලම පිපිරුණද, ඇතා නිසොල්මන්ව සිටීමෙන් ශ්‍රවණ ආබාධයකට ලක්ව ඇති බවටද ජනතාව අනුමාන කරති. එමෙන්ම වම් ඇසක පෙනීමේ දුර්වලතාවයක්ද පවතී.

ඇතාගේ අවදානම් මට්ටම එසේ වුවත් ඇතා ආරක්ෂා කර ගැනීමට තවමත් විද්‍යාත්මක විසඳුමක් බලධාරීන් මෙතෙක් නොගැනීම කනගාටුවට කරුණක් බව ඇතාට ආදරය කරන ජනයාගේ අදහස වී තිබේ.

මෙම ඇතාගේ ජීවිත ආරක්ෂාව උදෙසා තිරප්පනේ ප්‍රදේශයෙන් රැගෙන යාමට එරෙහිව කිසියම් වූ අදිසි හස්තයන් ක්‍රියාත්මක වන්නේ දැයි සැකසහිත බව ජනතාව විමතිය පළ කරති.

ජනතාවගේ ගෙවතු වගා හා භවභෝග විනාශ කරමින් කෙතරම් හානි කළත් තිරප්පනේ හා අවට ජනතාව දැඩි ආදරයක් මේ ඇතාට දක්වන හෙයින් ඌට කිසියම් වූ ජිවිත හානියක් සිදු වුවහොත් එහි වගකීම වනජීවී දෙපාර්තමේන්තුව භාරගත යුතු බවටද ජනතාව චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් තිරප්පනේ වනජීවී කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු මෙසේ පැවසීය.

“අග්බෝ ඇතා ඇවිදිද්දී ඉදිරි වම් පාදයේ පොඩි නොණ්ඩි ස්වභාවයක් තිබෙනවා. කලින් වෙඩි වැදී අස්ථි බිඳීමකට ලක්වෙච්ච සතෙක්. ඇතාව අරගෙන යන්න කියලා ජනතාව කිව්වට මේ ඇතාව ලොරියකට පටවගන්න අමාරුයි. කකුල්වලට ලණු දාලා නංවා ගැනීමට බෑ. ඒ නිසා වෛද්‍යවරු කියන්නේ මේ ඇතා රැගෙන යෑමට අපහසු බවයි. ඇතා දැන් දෛනිකව කිලෝමීටර් 20ක් 30ක් පමණ ගමන් කරනවා. ආහාර දීම නවත්වලා සාමාන්‍ය පරිදි ආහාර ගැනීමට අපි ඇතා කැලයට මුදා හැර තිබෙන්නේ. නිරන්තරයෙන් අග්බෝ ඇතාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කරමින් සොයා බලනවා.”