මොන ආර්ථික ඔස්තාර්ලා ආවත් මහින්ද රාජපක්ෂ කාලේ වගේ ආර්ථික වර්ධනයක් තවම වෙලා නෑ

මොන ආර්ථික ඔස්තාර්ලා ආවත් මහින්ද රාජපක්ෂ කාලේ වගේ ආර්ථික වර්ධනයක් තවම වෙලා නෑ

කුමන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිලියන 80 ක 85 ක මට්ටමේ පැවතිය ද තම ආණ්ඩුවක් යටතේ එය බිලියන 180 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ සඳහා වන වැඩපිළිවෙල තමා සතු බවද පවසන ඒ මහතා ඒ තුළ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ලක්ෂ 20 ක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අන්තර්ගත බවද පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සදහන් කළේ හලාවත, ආරච්චිකට්ටුවේ දී ඊයේ (03) පස්වරුවේ පැවැති ජනරැලිය අමතමිනි. එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමේ අපේක්ෂාවෙන් මෙම ජනරැලිය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා,

අද සනත් නිශාන්ත මහතා සිටියා නම් මේ ස්ථානයේ ඉන්නවා. එතුමා සිටියා නම් මගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටිනවා. කවදාවත් මොන අභියෝගය ආවත් මහින්ද රාජපක්ෂ මහතා සහ අපේ කඳවුර පාවා දුන්නේ නැහැ.

අද ඒ මහතාගේ ආදරණීය බිරිඳත් වගකීම කරට අරගෙන අපිට දැවැන්ත ශක්තියක් ලබාදෙනවා. පුත්තලම දිස්ත්‍රිකක්ය අපිට අලුත් තැනක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතාට විශාල සහයෝගයක් දුන්නා.

ඒ මහතා ධීවර ඇමැතිවරයා කාලයේ විශාල වැඩකොටසක් කළා. මේ දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කය වගේ බොහෝ දුරට සමානයි. ඒ නිසා මේ ජනතාවගේ අදහස් අපි දන්නවා.

එදා මේ ගම්මාන සංවර්ධනය කළේ මේ ජනතාව ජීවත්වන පරිසරය පිළිඳව අපිට අවබෝධයක් තිබෙන නිසයි.

අපිට වුවමනාව තිබුණා. මේ ගම්වල දරුවන්ටත් නගරයේ දරුවන්ට මෙන් පහසුකම් ලබාදෙන්න අපිට අවශ්‍ය වුණා.

ඒ වගේම නගරයේ දරුවන් ලබන ආදායමට සමාන ආදායමක් ගමේ දරුවන්ටත් දෙන්න අපිට අවශ්‍ය වුණා.

තරුණ තරුණියන්ට රැකියා දෙන්නත් අපිට අවශ්‍ය වෙනවා. ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අවශ්‍ය වුණා. ඔවුන්ට තාක්ෂණය ලබාදීමෙන් පමණයි ආදායම වැඩිකර ගන්න පුළුවන් වෙන්නේ.

මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීමෙන් පමණයි ධීවරයන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වැඩපිලිවෙල අපි ළඟ තිබෙනවා. නමුත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව සෑම දෙයක්ම විදේශයන්ගෙන් ගේනවා.

පසුගිය ආණ්ඩුවේ තෙල් ප්‍රශ්න තිබුණා. උපක්‍රමශීලීව එය නිර්මාණය කළා. විදුලිය නොමැති තත්ත්වයක් තිබුණා. යහපාලන ආණ්ඩුව සමයේ විදුලිබල පද්ධතියට එක මෙගාවොට් එකක් හෝ එකතු නොකළ නිසා බලශක්ති ප්‍රශ්න ආවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විදුලිය කපන්න වුණේ.

නමුත් ගෝඨාභය ආන්ඩුව සමයේ ගොවියන්ට සහන දුන්නා. නමුත් අපි කාබනික පොහොර දෙන්න ගිහින් ගොවියන් අපි සමඟ අමනාප වුණා. මම එදා පුත්තලම දිස්ත්‍රික්කයට ආවා. ගොවියන් සමඟ සාකච්ඡා කළා. අපි විශ්වාස කළා මේ රටේ කෘෂිකර්මාන්තය වස විෂෙන් තොර වෙන්න ඕන කියලා.

අපි වවන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්නත් අවශ්‍ය වැඩපිළිවෙල අපි ලඟ තිබෙනවා.

ඒ වෙනුවෙන් දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වනවා. සංචාරක ව්‍යාපාරය මේ දිස්ත්‍රික්කයේ දියුණු කරන්නත් පුළුවන්. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල අපි ළඟ තිබෙනවා.

ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වන්න දැක්මක් අපිට තිබෙනවා. අපි හැමදාම මේ රටේ දේශීය ව්‍යාපාරිකයා, දේශීය ව්‍යවසායකයා විශ්වාස කළා. අදටත් එහෙමයි. හෙටටත් එහෙමයි.

විදෙස් ආයෝජකයන් ගේනවා වගේම දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කරන්න ඕන. දේශීය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා රකින්න ඕන. සමූපකාර බැංකුව, ග්‍රාමීය බැංකුව ශක්තිමත් කරමින් ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට අඩු පොලියට ප්‍රාග්ධනය ලබාදිය යුතු වෙනවා.

ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.