රෙජිස්ට්‍රාර් ජනරාල් මූලික අයිතිවාසිකම කඩලා !

රෙජිස්ට්‍රාර් ජනරාල් මූලික අයිතිවාසිකම කඩලා !

නියමිත අවස්ථාවේදී රජය නියමිත තීරණ නොගැනීමෙන් මහජනතාවට බාධාවන් මෙන්ම අසාධාරණ වන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය නොපැවැත්වීමෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩකර ඇතැයි ඊයේ (03) තීන්දු කළේය.

රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගයට පෙනී සිටීමට අයදුම් කළ අයදුම්කරුවන් 132 දෙදෙනාට එක් අයදුම්කරුවකුට රුපියල් 25,000/- බැගින් රුපියල් ලක්ෂ 33 ක වන්දි ගෙවීමට රජයට නියම කළේය.

අමාත්‍ය මණ්ඩලයට එවා තිබූ නිර්නාමික ලිපියකට අනුව මෙම විභාගය නොපැවැත්වීමට තීරණය කළ ඉදිරිපත් වූ කරුණු අනුව දැනගන්නට ලැබුණු බව රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගයට පෙනී සිටීමට අයදුම් කළ අයදුම්කරුවන් 132 දෙදෙනකු ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, ගාමිණි අමරසේකර සහ ශිරාන් ගුණරත්න මහත්වරුන් හමුවේ නඩුව විභාග කෙරුණු අතර අනෙකුත් විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකාර ඩී.එම්.එස්. දිසානායක මහතා ඇතුළු ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගයට පෙනී සිටීමට අයදුම් කළ අයදුම්කරුවන් 132 ගොනුකොට තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රෙජිස්ටර් ජනරාල්වරයා, රාජ්‍ය සේවා කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.

රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීම සඳහා 2013 පෙබරවාරි 02 වැනිදා විභාගයක් පැවැත්වෙන බව නිවේදනය කර තිබු බවත් තමන් එම විභාගයට පෙනී සිටීමට අයදුම් කළ බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ නොවැළැක්විය හේතූන් නිසා විභාගය කල් දමන බව රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලය පසුව පෙත්සම්කරුවන්ට දැනුම් දුන් බවද සඳහන් කෙරිණී.

නියම කළ පරිදි අදාළ විභාගය පැවැත්වීමට කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මහත් කලකිරීමට පත් පෙත්සම්කරුවෝ සිද්ධිය පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව පෙත්සම්කරුවන් සඳහන් කර ඇති අතර පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ වසර 10 සේවා කාලය සම්පූර්ණ කළ ලේඛන සහකාරවරුන්ට දෙවැනි ශ්‍රේණියට උසස් කරන බව යැයි තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.