මැතිවරණ වියදම ගැන බොරු කිව්වොත් තනතුරත් ප්‍රජා අයිතියත් අහෝසියි

මැතිවරණ වියදම ගැන බොරු කිව්වොත් තනතුරත් ප්‍රජා අයිතියත් අහෝසියි

ජනාධිපතිවරණය සඳහා ජන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැක්කේ රු.109 ක මුදලක් බවත් ඊට වැඩියෙන් වියදම් කළ බවට අධිකරණයෙන් ඔප්පු වුවහොත් ලබාගත් ධුරය ද අහිමි වී වසර තුනක කාලයක් ප්‍රජා අයිතියද අහෝසි වන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කළේ, මහනුවර ප්‍රදේශයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වූ අවස්ථාවේ වියදම් විස්තරය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

මැතිවරණ වියදම් සහිත නීතිය මීට පෙර පැවැති බවත් මෙය 2023 අංක 03 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කොට ඇති බවද පෙන්වා දුන් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ, 1947 වසරේ සිට වත්කම් බැරකම් ප්‍රකාශ මෙන්ම මැතිවරණයක දී වියදම් කළ යුතු මුදල පිළිබඳ වාර්තාවක් මැතිවරණය අවසන් වී දින තිස් එකක් ඇතුළත ලබාදිය යුතු බවයි.

එය ලබා නොදී සිටීම මෙන්ම වැරදි තොරතුරු ලබාදීම යන්න දෙකම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් එහිදී ධූරය සහ ප්‍රජා අයිතිය අහිමි වූ අවස්ථා ඉතිහාසයේ පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙවර මැතිවරණය අවසන් වී දින විසි එකක් ඇතුලත අපේක්ෂකයන් තම ආදායම් වියදම් විස්තරය මැතිවරණ කොමිසන් සභාවට ලබා දිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

එසේ ලබාදෙන වියදම් විස්තරය කොමිෂන් සභාව මගින් මහජන ප්‍රදර්ශනය සඳහා පුවත්පත් දැන්වීම්වල සහ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරන බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව, වියදම් විස්තර පරස්පර හෝ වැරදි තොරතුරු ලබා දී ඇත්නම් ජනතාවට ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව ශ්‍රී ලංකා පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට අධිකරණ ක්‍රියාමාර්ගයකට යාමට නීතියෙන් අවසර ඇති බවද රත්නායක මහතා පැවසීය.

පොලිසිය මගින් නඩු පැවරීමේ ප්‍රමාද සිදුවන බවට අත්දැකීම් රැසක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ දැනටමත් මැතිවරණ සිද්ධීන් වලදී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නඩු පැවරීමට බී වාර්තාවක් මගින් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට තිබෙන බවය.

මැතිවරණ වියදම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සහ සිදුකෙරෙන වියදම් විස්තරය පිළිබඳව රාජ්‍ය ආයතන මෙන්ම මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විවිධ තරාතිරමේ කණ්ඩායම් ඒකරාශිකොට නිරීක්‍ෂණය වන ක්‍රමවේදයක් සූදානම් කොට තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම පනත මගින් නියාමනය කිරීමට බොහෝ දුරට හේතු සාධක වන්නේ, මැතිවරණයකදී විශාල ලෙස මුදල් ලබාදීම සිදු වෙන බවත් විශාල මුදලක් වියදම් කිරීම සිදුවෙන නිසාවෙන් බවත් හෙතෙම සඳහන් කළේය.

මුදල් නොමැතිව මැතිවරණයක් කිරීමට නොහැකි බව දන්නා නමුත් අසීමිත ලෙස ජනතාවට මුදල් වියදම් කිරීම සිදු වන බවට ඕනෑ තරම් සාක්ෂි පවතින බවද රත්නායක මහතා සඳහන් කළේය.

එළඹෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී මෙම වියදම් මිල කිරීම ඊට හාත්පසින් ම වෙනස් එකක් වනු ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා මෙම වියදම් විස්තරය සමග ලබා දුන් මුදල්, ලබා දුන් අයගේ නාම ලේඛනය, ලබාදුන් මුදලේ ප්‍රමාණය, භාණ්ඩවල විස්තර ඇතුළු සම්පූර්ණ වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු බවත් ඇතැම් විට එමඟින් බොහෝ දුරටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා වෙනත් ක්‍රියාවලියක් සිදු කිරීමට ඉඩ තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එමඟින් ජනතාවට විශාල සේවාවක් සිදුවන බවත් ඔහු සඳහන් කළේය.