අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් කොන්ක්‍රීට් වහලක් මතින් හමුවෙයි

අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් කොන්ක්‍රීට් වහලක් මතින් හමුවෙයි

අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කැකිරාව, ඔළුකරඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහලය මත තිබී ඊයේ (29) සවස් කාලයේ සොයා ගත් බව කැකිරාව පොලිසිය පවසයි.

කැකිරාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී එම මළ සිරුර සොයා ගෙන තිබේ.

කලක සිට වසා දමා තිබූ බව පැවසෙන මෙම ව්‍යාපාරික ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් වහලය මත තිබීයදි මෙම මළ සිරුර සොයා ගෙන තිබුණි.

අදාළ පුද්ගලයා දින කිහිපයකට ඉහතදී මිය යන්නට ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව, ඔළුකරඳ ප්‍රදේශයේම පදිංචිව සිටි 44 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු දින කිහිපයක් නිවසින් අතුරුදන්ව සිට ඇති බවත්, ඔහුගේ මළ සිරුර පසුව මෙලෙස හමුව ඇත්තේ ඔහු පදිංචිව සිටි නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ස්ථානයක දී බවත්, පොලිසිය පවසයි.

කෙසේ වෙතත් මෙය සිය දිවි නසා ගැනීමක් ද ස්වභාවික මරණයක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳව පොලිසිය මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, මෙම මරණය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මේ වනවිට වැඩිදුර පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.