“ජනපතිට අපි ණයත් නෑ, බයත් නෑ” – බැසිල් ජනපති ඉදිරියේම කියයි

“ජනපතිට අපි ණයත් නෑ, බයත් නෑ” – බැසිල් ජනපති ඉදිරියේම කියයි

රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක්කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අවස්ථාවේ හැටියට රට බේරාගත හැක්කේ රනිල්ට බවට තීරණය කළ බව කී බැසිල් රාජපක්ෂ මහතා අද දක්වා දැක්වූ ඒ සහයෝගය ඉදිරියටත් දක්වන බව කිව යුතුයැයි ප්‍රකාශ කළේය. එය කරන්නේ රට වෙනුවෙන් බවයි ඒ් මහතා ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් ‘ජාතික මෙහෙවරක රෝහිත සලකුණ’ සැමරුම් උළෙලට සහභාගී වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහත්වරු ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මීට සහභාගී වූහ.

කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගනයේදී මෙම සමරු රැළිය පැවැත්විණි.

“මේ පක්ෂය ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතු කරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කළේ කිසියම් බයකටත් නෙමෙයි.

ඒ වගේම අපි බයත් නෑ ණයත් නෑ කියලා සඳහන් කරන්නේ ඉතාම ගෞවරයෙන්.

අපේ පක්ෂයේ සියලුදෙනාම තීන්දුවක් අරගත්තා ඒ අවස්ථාවේ හැටියට මේ රට බේරා ගැනීමට හැකියාව තියෙන්නේ ඔබතුමාට කියලා.

අන්න ඒ අවස්ථාවේදී අපි ඒ සහයෝගය අවංකව දුන්නා අද දක්වා. ඉදිරියටත් ඒ සහයෝගය දක්වනවා කියන එක අපි කියනවා.

ඒ කරන්නේ රට වෙනුවෙන් හා මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක ඒ රටත්, ජනතාවත් ආරක්ෂා කරන තාක්කල් ඔබතුමාට සියලු ශක්තිය ලබාදෙනවා කියලා ඔබතුමාට සඳහන් කරනවා.”