ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර කඩිනමින් ලබා දීමේ වැඩපිළිවෙලක්

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර කඩිනමින් ලබා දීමේ වැඩපිළිවෙලක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම මගින් ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වඩා නවීන තාක්ෂණය ඔස්සේ නිකුත් කිරීමට වැඩපිළිවෙල සකස් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම වර්ෂයේ දී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව e-Motoring ව්‍යාපෘතිය යටතේ සම්පුර්ණයෙන් ඩිජිටල්කරණයට ලක් කිරීමෙන් වංචා දූෂණ අක්‍රමිකතා වලින් තොරව කටයුතු කිරීමට මේ වන විට අවශ්‍ය සියලු කටයුතු කර තිබෙන බවයි, අමාත්‍යවරයා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ.

මෙයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත්ව ඇති අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය උගත් විනිසුරුවරුන් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

රියදුරු බලපත්‍ර 10,000 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට තිබෙන බවත් සඳහන් කළ අමාත්‍යවරයා, දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම මඟින් ඉදිරියේ දී රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වඩා නවීන තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට වැඩපිළිවෙල සකස් කර තිබෙන බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.