ගැටලු විසඳන්න “අස්වැසුම සතියක්”

ගැටලු විසඳන්න “අස්වැසුම සතියක්”

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටලු විසඳීමට නොවැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත් මෙතෙක් ප්‍රතිලාභ ලැබී නොමැති පවුල් මෙන්ම තාක්ෂණික ගැටලු හේතුවෙන් ප්‍රතිලාභ ප්‍රමාද වී ඇති පවුල් සඳහා කඩිනමින් ප්‍රතිලාභ ලබාදීමට මෙමඟින් හැකිවන බවයි, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල එක්ව මෙම සතිය තුළදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගැටළු විසඳීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.

මේ අතර ජූලි මාසය සඳහා සියලුම ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවා ඇති අතර අගෝස්තු මාසය සඳහා ගෙවීම් කටයුතු ලබන බදාදා සිට ආරම්භ කරන බවයි, රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙය කිසිසේත්ම ලබන වසර සඳහා අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගනු ලබන අයදුම්පත් කැඳවීමක් නොවන අතර මේ පිළිබඳව සුබසාධක මණ්ඩලය විසින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කිරිමට කටයුතු කරමින් සිටින බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වසරේ තෝරාගෙන ඇති ප්‍රතිලාභීන්ට තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීමෙන් පසු ලබන වසර සඳහා අයදුම්පත් කැඳවීමට සුබසාධක මණ්ඩලයට හැකියාව ලැබෙන බව සඳහන්.

“දැනට අපි ගෙවීම් කරලා තියෙන්නේ ජුලි මාසයට අදාළව. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යාංශය මහ භාණ්ඩාගාරය විසින් ප්‍රතිලාභීන් වෙත 1,365,000ක් සඳහා රුපියල් බිලියන 8.5ක මුදලක් ලබාදෙන් කටයුතු කළා. ඒ අනුව ප්‍රතිලාභීන් සඳහා බදාදා දිනයේ සිට ඔවුන්ගේ ප්‍රතිලාභ ලබාගැනීමේ හැකියාවක් තියෙනවා.”