පාසල් සිසුවියක් හදිසියේ ඇඳ වැටී මරුට

පාසල් සිසුවියක් හදිසියේ ඇඳ වැටී මරුට

අතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකට හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව (18) දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම , මුල්ලේගම ,  සීලාලංකාර මාවත , 2 පටුමගේ අංක 07 නිවසේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ දිනිති තිමාරා නමැති  දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකි.

ඇය 18 දා උදෑසන පාසල් ගොස් යළි නිවසට පැමිණ මිතුරියක සමඟ උඩුමහලේ පාඩම් කරමින්  සිටියදී  “අම්මේ මගේ අත ටිකක් රිදෙනවා ” යැයි පවසමින් පහළ මහලට පැමිණ ඒ බව මවට පවසා තිබේ.

පසුව මව විසින් නිවෙසේ තිබූ බෙහෙත් වර්ගයක්  දියණිගේ අතෙහි ගල්වා , අතගා මදක් සනීප කර ඇති අතර ඉන් අනතුරුව නැවත වරක් උඩුමහලට ගිය සිසුවිය  මිතුරිය සමඟ පාඩම් කරමින් සිටියදී එක්වරම වමනය කරමින් බිම ඇද වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

පසුව අසනීපව සිටි දියණිය ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ දියණිය මිය ගොස් ඇති බවයි.

ඒ අනුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා  අබේවර්ධන මහත්මිය  ඔරුවල දිසා රෝහලට ගොස් දේහය පරීක්ෂා කොට ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට  පොලීසියට නියෝග කළාය.

මෙම දියණියගේ හෘදයේ තිබූ රුපියල් දෙකක කාසියකට සමාන සිදුරක් මීට මාස පහකට පමණ පෙර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී සැත්කමකට භාජනය කර ඇති අතර ඉන්පසුව ඇය සාමාන්‍ය පරිදි දෛනික කටයුතු කරගෙන ගොස් ඇති බවත් ඇය සංගීතයට ඉතා දක්ෂ සිසුවියක බැවින් පාසලේ හා ඉන් බැහැරව ඊට සම්බන්ධ ක්‍රියාකාරකම් වලින් දක්ෂතා පෙන්වූ සිසුවියක බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ.

සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ බව අනාවරණය කර ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී දේහය (19) දා  පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කිරීමට නියමිතව තිබුණි .

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ගුණරත්න නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.