යාල ගිහින් කෘමීන් එකතු කළ ඉතාලි ජාතික පියාට සහ පුතාට කෝටි 06ක දඩයක්

යාල ගිහින් කෘමීන් එකතු කළ ඉතාලි ජාතික පියාට සහ පුතාට කෝටි 06ක දඩයක්

යාල ජාතික වනෝද්‍යානයෙන් සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් කෝටි 06ක (ඩොලර් 200,000, පවුම් 150,000) දඩයක් නියම කර තිබේ.

තිස්සමහාරාම මහෙස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා විසින් පසුගිය 3 වනදා එම දඩය නියම කළේය.

නීතිවිරෝධී ලෙස කෘමීන් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස මුලදී ඔවුන් වරදකරුවන් කර ඇති අතර ඔවුන් දෙදෙනාට නියම කර ඇති දඩය මෙරට වනජීවී අපරාධයක් සඳහා නියම කළ ඉහළම දඩය ලෙස සඳහන් වේ.

යාල ජාතික වනෝද්‍යානයේ ආරක්ෂකයින් විසින් 68 හැවිරිදි ලුයිගි ෆෙරාරි සහ ඔහුගේ 28 හැවිරිදි පුත්‍රයාව මේ වසරේ මැයි 8 වනදා කෘමීන් අඩංගු භාජන සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් දෙදෙනාට චෝදනා 810ක් එල්ලකර තිබුණ ද පසුව එය 304 දක්වා අඩුකර තිබේ.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙය ආරක්ෂිත සතුන් සම්බන්ධයෙන් කළ වරදක් බැවින් ගොනු කරන ලද චෝදනා 304ටම ඔවුන් දෙදෙනා වැරදිකරුවන් වන බව මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.

ඒ අනුව, එක් එක් චෝදනාවට අදාළ දඩ මුදල අධිකරණයට කියා සිටි අතර එහි මුළු එකතුව ලෙස රුපියල් හයකෝටි එක් ලක්ෂ අසූ දහසක මුදලක් ගෙවන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා චූදිතයින්ට නියෝග කර සිටියේය.

සැප්තැම්බර් 29 වනදා වනවිට දඩ මුදල ගෙවන ලෙස අධිකරණය නියෝග කළ අතර දඩ මුදල ගෙවන තෙක් මෙම විදෙස් ජාතිකයින් දෙදෙනාට රටින් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බවද සඳහන් කළේය.