තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ගැන දැනුම් දීමක්

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ගැන දැනුම් දීමක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝබර් මස 07 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස්, ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අද (26) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, මෙම මැතිවරණයේ දී ද 2024 ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ සියලුදෙනාට නැවතත් තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

“මේ මැතිවරණයේදී පහුගිය ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් පහුගිය ඡන්දහිමි නාමලේඛනයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කරපු සියලුම අය සඳහා නැවත තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. ඒ ඔබට අදාළ සියලුම දත්ත සියල්ල අප සතුව තිබෙනවා.

එහෙත් පසුගිය ජනාධිපතිවරණය සඳහා ඔබ ඉදිරිපත් කරපු තැපැල් ඡන්ද අයදුම්පත මොනයම් හෝ කාරණාවක් නිසා ප්‍රතික්ෂේප වී තිබුණා නම් ඒ ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කරලා නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. ඒ කියන්නේ ගියවර තැපැල් ඡන්ද අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වෙච්ච අයදුම්කරුවන් නැවත අයදුම් කරන්න සිදුවෙනවා.

ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ යම් ලෙසකින් තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් නොකරම සිටියා නම් ඒත් ඔබ මැතිවරණ රාජකාරී සඳහා යොදවා ගැනීමට අපේක්ෂිත සේවා කාණ්ඩයක සිටිනවා නම් ඔවුනටත් නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.

විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා සහතික කිරීමේ නිලධාරීවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් අපි ඔවුන්ට ලිඛිතව දැනුම් දීමක් කරනවා.”