රුසියානු හා යුක්‍රේන හමුදාවට යැවීමේ වංචාවට මෙරට සෙබලුන් හසුවන්නේ ආර්ථික අර්බුදය නිසායි

රුසියානු හා යුක්‍රේන හමුදාවට යැවීමේ වංචාවට මෙරට සෙබලුන් හසුවන්නේ ආර්ථික අර්බුදය නිසායි

මේ වනවිට රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විශාල වශයෙන් මෙරට ආරක්ෂක අංශ වල සේවයේ නියුතු හා විශ්‍රාමික නිලධාරීන් මුහුණ දී ඇති බවත් එහි දිගුවක් ලෙස අද වනවිට මෙලෙස ඔවුන් වංචනික ආකාරයෙන් රුසියානු හා යුක්රේන හමුදාව වෙත යැවීමේ ක්‍රියාවලියට හසුවී ඇති බවත්, එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එමෙන්ම මෙම ආර්ථික ගැටලු හමුවේ රට තුළ සිදුවන අපරාධමය කටයුතු සඳහා ඔවුන් පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවද එක්සත් ජනරජ පෙරමුණේ රණවිරු පවුර සංවිධානය අද (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රණවක මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා…

“පසුගිය අවුරුදු දෙකක, තුනක කාලය තුළ වාර්තා වෙලා තියෙනවා 50,000කට අධික පිරිසක් ආරක්ෂක සේවා හැර ගිහින් තියෙන බව. විශ්‍රාම ගිය තව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. මේ පිරිස් හැම කෙනාටම සන්නද්ධ පුහුණුවක් තියෙනවා. පහුගිය දවස්වල පාතාල ලෝකයේ ඇතිවෙච්ච ඇතැම් ඝාතන වලට වෙඩික්කරු හැටියට ආරක්ෂක හමුදාවල දැනට සේවයේ නියැලිලා ඉන්න අයත් ඒ වගේම සේවයෙන් විශ්‍රාම ගිය පිරිසත්, සේවයෙන් පලා ගිය පිරිසත් සම්බන්ධ වෙලා තියෙන ආකාරය. ඒ වගේම නීති විරෝධීව මුහුදෙන් ගේන මත්ද්‍රව්‍ය වගේම අනෙකුත් බඩු භාණ්ඩ ගෙන ඒම පිළිබඳ කාර්යයේදී ඇතැම් නාවික හමුදාවේ සහ හමුදාවල වැඩ කරපු අය මැදිහත් වෙන ස්වභාවය අපි දැකලා තියෙනවා. මේකම එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ සම්බන්ධයෙනුත් අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා.”

“දැනට වාර්තා වෙලා තියෙන ප්‍රමාණය 84 දෙනෙක් මේ විදිහට යුද බිමට ගිය බව. එයින් 08 දෙනෙක් මියගිහින් තියෙන බව. කෙසේ නමුත් නිල නොවන වාර්තා පවසන්නේ මේ සංඛ්‍යාව මීට වඩා විශාලයි කියලා. රජය මේ පිළිබඳව මැදිහත් විය යුතුමයි. විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් මැලේසියාවට, එහෙම නැත්නම් සිංගප්පූරුවට ගෙන ගිය අය අද වෙනකොට බුරුමයේ එහෙම නැත්නම් මියන්මාරයේ අන්තර්ජාල වංචනිකයින්ගේ කඳවුරු වල හිරකාරයෝ බවට පත්වෙලා තියෙනවා. තවත් සමහර අය විදේශ රටවල ගොවිපොළ වලට, බටහිර ලෝකයේ රටවල් වලට අරන් ගිහිල්ලා ඒවායින් පලා ගිහිල්ලා අතරමං වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ කෘෂිකාර්මික බිම් වලට අපේ පිරිස් යවන ස්වභාවයක් තියෙනවා. තාම සිදුවීම් වාර්තා වෙලා නෑ. නමුත් මේවායේ ආරක්ෂිත තත්වය පිළිබඳව රජය වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. තරුණ තරුණියෝ අතරේ මේ පිළිබඳ උන්මාදයක් ඇති කරනවා වගේම ඒ අයගේ වගකීම බාරගන්න ඕනේ.”

Share This