ජාතික තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කමිටුවක්

ජාතික තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කමිටුවක්

ජාතික තරුණ සේවා සභාව සහ අනුබද්ධිත ආයතනවල පසුගිය කාලයේ සිදුවූ අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට විශේෂ කෝප් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පෙරේදා රැස් වූ අතර, එහි දී ජාතික තරුණ සේවා සභාවේ සහ ඊට අනුබද්ධ ආයතනවල අක්‍රමිකතා පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙනවා.

එහිදී ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය සහ සංගීත ප්‍රසංග වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 188ක් පමණ චෙක්පත් ජනාධිපතිවරණයට පෙර දින නිකුත් කිරීම පිළිබඳව විමසීමට තරුණ සේවා සභාවේ හිටපු සභාපති පසිඳු ගුණරත්න ද කෝප් කමිටුව හමුවට කැදවා තිබුණා.

එමෙන්ම, තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා නිලධාරීන්ට බලපෑම් කළ බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබුණා.

මීට අමතරව තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එම තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් නොමැති බවද තහවුරු වී තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් මුදල් අවභාවිතා කොට ඇති බවද මෙහිදී අනාවරණ වුණා.