ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුට ගිනි අවිය දුන්නේ නීතිඥ වෙස්ගත් කාන්තාවක්

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුට ගිනි අවිය දුන්නේ නීතිඥ වෙස්ගත් කාන්තාවක්

කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී අද (19) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ ගණේමුල්ලේ සංජීව නැමැත්තාව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුට සහය ලබා දීමට නීතිඥ වෙස්ගත් කාන්තාවකුත් පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.

නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් වෙඩික්කරු හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව අදාළ කාන්තාවගෙන් ගිනිඅවිය ලබාගෙන ඇති බවටත් සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිඥවරු භාවිත කරන ‘අපරාධ නඩු විධාන සංග්‍රහය’ නම් ග්‍රන්ථයේ පිටු ගිනිඅවියේ හැඩයට කපා ඉතා සූක්ෂම ලෙස අපරාධකරුවන් ගිනිඅවිය අධිකරණය තුළට රැගෙන විත් තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අනතුරුව ගණේමුල්ල සංජීව විත්ති කූඩුවේ සිට ඉන් බැසීමට ආසන්න වෙන අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර, ගණේමුල්ල සංජීවගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් 12 දෙනෙකු යොදවා සිටි බවද ඔහු පැවසීය.

වෙඩික්කරුව කිසිදු පරීක්ෂාවකින් තොරව අධිකරණ භූමියට ගෙන ඇති බවත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් 05කගේ සහභාගීත්වයෙන් පරීක්ෂණ කටයුතු සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ ගණේමුල්ලේ සංජීව කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා රැගෙන ගියද කොළඹ ජාතික රෝහලේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.