විවාහ වන බවට පවසා පෙම්වතා සමඟ ගිය තරුණියගේ සිරුර පාළු ළිඳකින් හමුවෙයි

විවාහ වන බවට පවසා පෙම්වතා සමඟ ගිය තරුණියගේ සිරුර පාළු ළිඳකින් හමුවෙයි

තම පෙම්වතා සමග විවාහ වන බවට මවට පවසා නිවසින් ගිය තරුණියකගේ මළ සිරුරක් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳක තිබී මුතූර් මහේස්ත්‍රාත් මොහොමඩ් පවුසාන් මහත්මිය ඉදිරියේ අද (05) මුතූර් පොලිසිය විසින් ගොඩගනු ලැබීය.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ, සේරුනුවර තංගනගර් පදිංචි නඩේස් කුමාර් විනෝදනී (25) නැමැති තරුණියකි.

ඉකුත් ජූනි 13 වනදා තම පෙම්වතා සමග විවාහ වන බවට පවසා නිවසින් ගොස් ඇති අදාළ තරුණිය ජූලි මස පළවෙනිදා දක්වා දුරකථනයෙන් කතා කර ඇති අතර ඉන් පසුව කතා නොකළ නිසා ඇයගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මව වන අරුණාචලම් සසිකලා නැමැත්තිය සේරැනුවර පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මේ අතරතුර අතුරුදහන් තරුණිය මරා දමා පාලු ළිදක දමා ඇති බවට මුතූර් පොලිසියට ලද තොරතුරක් අනුව මූතූර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ජී.අයි.යූ.කේ. සෝමනුවර මහතා මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ මළ සිරුර ගොඩ ගනු ලැබීය.

මරා දැමූ තරුණියගේ පෙම්වතා යයි කියන තැනැත්තා කිළිවෙඩ්ඩි කොට්ඨාස අංක දෙකේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇත.

මළ සිරුර සමඟ ගොඩගත් තරුණිගේ යැයි සැක කරන ගමන් මල්ලක තිබී භාණ්ඩ රැසක් ද පොලිසිය විසින් පරීක්ෂා කර ඇත.

සිද්ධිය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ මහේස්ත්‍රාත්වරිය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර ත්‍රිකුණාමලය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය වෙත යොමු කරන ලෙස නියෝග කළ අතර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේය.

Share This