ගිනි අවි ඇතුළු ආයුධ සමග මවුලවිවරයෙක් අත්අඩංගුවට

ගිනි අවි ඇතුළු ආයුධ සමග මවුලවිවරයෙක් අත්අඩංගුවට

මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ දී ගිනි අවි සහ පතුරම් තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි මවුලවීවරයකු අරලගංවිල විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මැගසින් දෙකක් සහ දුර දක්නයක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඔවුන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මවුලවීවරයා 43 හැවිරිදි, ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත වූ අයෙකු බවද පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය පවසයි.

එම ටී.56 ගිනි අවිදෙක පතුරම් හැට සහ මැගසින් දෙක මෙන්ම දුර දක්නය පොහොර මල්ලක දමා ගෙවත්තේ වළඳමා ඇති අතර ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි, පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.