රත්නපුර හිටපු නගරාධිපතිගේ නැතිවූ පිස්තෝලය කාන්තාවක් ළඟ තිබී හමුවෙයි

රත්නපුර හිටපු නගරාධිපතිගේ නැතිවූ පිස්තෝලය කාන්තාවක් ළඟ තිබී හමුවෙයි

රත්නපුර හිටපු නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාගේ සොරාගත් පිස්තෝලය කාන්තාවකගේ සන්තකයේ තිබී රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් කාංචන කොඩිතුවක්කු මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත කාන්තාව මුදා හැර තිබේ.

ඉකුත් 10 වැනි දින දින හිටපු නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාගේ නිවසේ මිදුලේ නවතා තිබූ කැබ් රථයේ තිබී මෙම පිස්තෝලය සොරා ගෙන ගොස් තිබිණ. අත්අඩංගුවට ගත් කාන්තාව තම පුතා විසින් සොරාගත් පිස්තෝලය රුපියල් 40,000 කට උගස් කර ඇති බවත්, එය බේරා ගැනීමට ටිරෝන් අත්තනායක යන අයගෙන් මුදල් ඉල්ලා ගෙන තමාට දෙන බවට පවසා ඇති බවත්, පසුව මේ ගැන ටිරෝන් යන අයට පැවසීමෙන් පසුව තමාට මුදල් ගෙනවිත් දුන් බවත් පොලිසිය හමුවේ පවසා ඇත.

මෙදින රාත්‍රියේදී තමාගෙන් පුතා මුදල් ලැබුණාදැයි ඇසූ බවත්, මුදල් ලැබුණ බව පැවසූ පසුව රාත්‍රි කාලයේදී නිවස ඉදිරිපිටට පැමිණි පුතා මුදල් ඉල්ලා ගෙන රෙදි පාර්සලයක් තිබෙනවා එය ගන්නැයි කියා පිටව ගිය බවත් ඇය පොලිසියට පවසා ඇත.පසුව පොලිසියට ලද තොරතුරක් මත පිස්තෝලය සමග සැකකාරිය අත් අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් 38 වර්ගයේ පිස්තෝලයේ තිබූ උණ්ඩ පහෙන් හතරක් නොමැති බවට පොලිසිය විසින් වාර්තා කර ඇත.

සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.

රත්නපුර මූලස්ථාන පො.ප.කමල් අබේසිරි මහතාගේ උපදෙස් මත අපරාධ ස්ථානයේ ස්ථානාධිපති ප්‍ර.පො. ප.ගාමිණී අත්තනායක, උ.පො.ප. ගුනසේකර, පො.සැ.වීරසේකර(38730), පො.සැ. තිලකරත්න(8046), පො.කො.ලහිරු(54287), පො.කො.සමන්(78834), කා.පො.සැ.චන්දික යන නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වති.

Share This