
ගිනිඅවිය සමග අතුරුදන් වී රට පැන්න කොස්තාපල්ගේ මව පියා අත්අඩංගුවට
ගල්කිස්ස පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනිඅවිය ද සමග අතුරුදන් වීමේ සිදුවීමට අදාළව ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පොලිස් කොස්තාපල්වරයා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (10) රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර එම සැකකාර කොස්තාපල්වරයාට ආධාර සහ අනුබල දුන් බවට තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇති බව සඳහන්.
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී සිදුකළ පොලිස් කොස්තාපල්වරයෙක් මාර්ග බාධක රාජකාරියට යන බව පවසා T56 වර්ගයේ රාජකාරී ගිනි අවියක් සහ උණ්ඩ 30ක් ද රැගෙන පසුගිය සෙනසුරාදා පස්වරුවේ පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
කෙසේ වෙතත් ඔහු පොලිස් මාර්ග බාධකය වෙත රාජකාරි සඳහා වාර්තා නොකිරීමත් සමඟ සිදුකළ සොයාබැලීමේ දී ඔහු රාජකාරි ගිනි අවිය සමඟ අතුරුදන්ව ඇති බවයි, අනාවරණය වී ඇත්තේ.
ඔහු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවක දී හෙළිව ඇත්තේ එම කොස්තාපල්වරයා එදින රාත්‍රියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවයි.