වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව තිබෙනවා.

ඒ අනුව වසර 105 කට පසු තම අධ්‍යාපන ආයතනයට පැමිණි ප්‍රථම ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව ලෙස ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලය විසින් ගරු වඩිගල සමිතරතන හිමියන් පිළිගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔක්ස්ෆර්ඩ් යන දෙඅංශයටම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විද්වත් සමිතරතන හිමියෝ එම ​​විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරමින් සිටිති.

ශාන්ත ක්‍රොස් විද්‍යාලය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධ විද්‍යාල වලින් එකකි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය මධ්‍යම පළාතෙන් විශිෂ්ට ලෙස සමත් වෙමින් උන්වහන්සේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා පිවිසෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වෙතයි.

එහිදී දර්ශනය සම්බන්ධයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධියකින් සමත් වන වඩිගල සමිතරතන හිමියන්; පසුව සිය දර්ශනපති උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට පැමිණ තිබෙනවා.

බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්තර්ජාතික සබඳතාව ඉතිහාසගත කරමින් 1919 වර්ෂයෙන් පසුව ඔක්ස්ෆර්ඩ් සරසවිය වෙත ලාංකික භික්ෂුවකට ශිෂ්‍යත්වයක් ලැබී ඇත්තේ දෙවැනි වරටයි.

එහි පළමු වාසනාවන්ත භික්ෂුව වූයේ පූජ්‍ය සූරියගොඩ සුමංගල නාහිමියන් වන අතර ඉන් පසුව එම අවස්ථාව ලැබීමට පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් සමත්ව තිබෙනවා.

පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් මේ වනවිට සිය දර්ශනපති උපාධිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලයේ ග්ලෝරිසන් විශාරදයෙකු ලෙස බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ව සිය අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටිනවා.

තමන් බඳවා ගැනීම ගැන සිහිපත් කරමින් සමිතරතන හිමියන්, තම අධ්‍යාපනික ගමනට අතහිත දුන් අයට කෘතඥතාව පළ කර තිබේ.

“ඔක්ස්ෆර්ඩ් හි බෞද්ධ භික්ෂුවක් ලෙස මගේ ජීවිතය කැපවන්නේ බෞද්ධ කටයුතුවල වර්ධනය සහ සමාජ යහපැවැත්ම සඳහා, සියලු සීමාවන්ගෙන් ඔබ්බට ය,” යැයි උන්වහන්සේ පවසා තිබේ.