වොලිබෝල් ශූරයෙකු නාච්චිමල ඇලට බිලි

වොලිබෝල් ශූරයෙකු නාච්චිමල ඇලට බිලි

අවිස්සාවේල්ල, නුගදණ්ඩ නාච්චිමල ඇලෙහි මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ, කහතුඩුව, පොල්ගස්ඕවිට පාලගම පදිංචිව සිටි හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ හේෂාන් මිනෝල්ෂ නමැති 17 හැවිරිදි සිසුවෙකි.

වොලිබෝල් ශූරයෙකු වන ඔහු විද්‍යාලීය වොලිබෝල් කණ්ඩායමේ පන්දු ඔසවන්නා ලෙස කටයුතු කළ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය සිසුවා තවත් මිතුරන් දස දෙනෙකු සමගින් කැබ් රථයකින් අදාල දිය වලෙහි දිය නෑමට ගොස් ඇති අතර ඒ අතුරින් මියගිය සිසුවා සහ තවත් මිතුරෙකු එක්වරම දිය වලට පැනීමේදී දෙදෙනාම දිය යටට ගොස් නොපෙනී ගොස් ඇති බවත් සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී එහි සිටි පිරිස ආධාර ඉල්ලා කෑ ගැසීමේදී ගම්වාසීන් පැමිණ දියවලට පැන එක් අයෙකු ක්ෂණිකව ගොඩට ගෙන ඇති අතර අනෙක් සිසුවා ගොඩට ගැනීමේදී ඔහු මිය ගොස් සිට ඇතැයි වාර්තා වෙයි.

නිවසින් පිටවීමට පෙර “අම්මේ මම මාළුවෙක් අරන් එන්නම්” යනුවෙන් පවසා නිවසින් පිටව ගොස් තිබූ බව මවගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

මියගිය සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර මූලික රෝහලේ තැන්පත් කර ඇත.