ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූ ෂොප් හිමිකරු පොලීසියට කළ පාපොච්ඡාරණය (වීඩියෝ)

ක්ලබ් වසන්ත ඝාතනය ගැන ටැටූ ෂොප් හිමිකරු පොලීසියට කළ පාපොච්ඡාරණය (වීඩියෝ)

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සැලසුමක් පිළිබඳ තමන් කිසිවක් දැන නොසිටි බවට ඝාතනයට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබේ.

එම ව්‍යාපාරය ආරම්භ කිරීමට ලොකු පැටී නැමැති අපරාධකරු තමන්ට රුපියල් ලක්ෂ 16ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාදුන් බවත්, එම මුදල ලබාදීමෙන් පසු ලොකු පැටී නැමැත්තා, ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා ක්ලබ් වසන්ත නැමැත්තාට ආරාධනා කරන ලෙස දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ව්‍යාපාරිකයකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත, ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නමැත්තාද මියගිය අතර කේ.සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිඳ, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

පසුව සිදුවීමට අදාළව ඝාතනය සිදුවූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නමැත්තා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගත්තේය.