දරුවෙකුට අමානුෂිකව පහරදුන් වැලිඔය නරුම පියා අල්ලයි

දරුවෙකුට අමානුෂිකව පහරදුන් වැලිඔය නරුම පියා අල්ලයි

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ කුඩා ළමයෙකුට පහරදෙන වීඩියෝවේ ළමයාට පහර දෙන පුද්ගලයා සහ පහර කෑ ළමයාද එම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකුද අද (05) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිඔය පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 45 හැවිරිදි කුකුල් චමින්ද නමින් හඳුන්වන පුද්ගලයෙක් බව පොලීසිය කියයි.

කාන්තාවන් දෙදෙනා 37 සහ 46 හැවිරිදි වියේ පසුවන්නියන් වේ.

සැකකරුවන් තිදෙනාම වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අදාල වීඩියෝව සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීමත් සමග සැකකරු දරුවා ඇතුළු පිරිස සමග නිවසද වසා දමා ප්‍රදේශයෙන් පැන ගොස් සැඟවී සිටියදී පුල්මුඩේ අරසිමලේ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් පිරිස සමග සිටි වයස අවුරුදු 4 ක් හා මාස 06 ක් පමණ වන වීඩියෝවේ සඳහන් පරිදි පහරකෑමට ලක්වූ වින්දිත පිරිමි දරුවා මේ වනවිට අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර තිබේ.

දරුවා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බව ද පොලීසිය සඳහන් කරයි.

වැලිඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පුල්මුඩේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම මෙහෙයුම සිදුකර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධව වැලිඔය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Share This