අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් ගැන බය වෙන්න එපා

අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් ගැන බය වෙන්න එපා

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 15 දක්වා දරුවන්ට ලබා දෙන එන්නත් පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්, ඒ අනුව එම එන්නත් දරුවන්ට අනිවාර්යයෙන් ලබා දෙන ලෙසත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා අවධාරණය කළේය.

මේ පිලිබඳ සිදු කළ වැඩිදුර විමසීමේදී ඒ මහතා සඳහන් කර සිටියේ, ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා ගෙන්වා ඇති එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රමිතිය තහවුරු කළ ඒවා පමණක් වන බවයි.

ඒ අනුව, රෝග නිවාරණය සඳහා අදාළ එන්නත් දරුවන්ට ලබා දීමට දෙමාපියන් කටයුතු කළ යුතු වන බවත්, නොඑසේ නම් රෝග රැසක් උත්සන්න වීමට එය හේතුවක් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එන්නත් ලබා දීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පැවසෙන කුලියාපිටිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් ලබා ගැනීම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ඒවා බෙදා හැරීම වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සිදු කරනු ලැබේ.

Share This