යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අරඹයි

යුනයිටඩ් පෙට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අරඹයි

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු සඳහා නිල වශයෙන් එක්වුණි.

ඒ අනුව, මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන ඔවුන්, ලබන සැප්තැම්බර් මාසයේ සිට ඉන්ධන පිරවුම් හල් 150 කින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරනු ලබයි.

ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රෝලියම්, ලංකා ඉන්දියානු තෙල් සමාගම, සයිනොපෙක් සමාගම, ආර් එම් පාක්ස් – ශෙල් සමාගම යන සමාගම් වලට පසුව මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසෙන සිව්වැනි සමාගමයි.

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් දියත් කිරීමේ සමාරම්භක උළෙල “welcome to United” ඊයේ (22) ITC රත්නදීප හෝටලයේ දී පැවැත්විණි.

එම අවස්ථාව සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා (Mr Paul Stephens) සහභාගී විය.

ශ්‍රී ලංකාව තුළ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ මෙහෙයුම් ආරම්භ කිරීම අමාත්‍යවරයා මෙහිදී නිල වශයෙන් පිළිගත්තේය.

මෙම සමාරම්භක උත්සවය අතර වාරයේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ ප්‍රථම තෙල් නෞකාව ආරක්ෂිතව කොළඹ වරායට සේන්දු වී ඇති බව නිවේදනය කළේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ මෙරට ප්‍රධාන විධායක නිළධාරී අචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා සමාගමේ ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳ පැමිණි සිටි පිරිස දැනුවත් කිරීම සිදු කළේය.

ඔහු කියා සිටියේ, මීට වසර 05 කට එහා ගිය දැක්මක් සහිතව යුනයිටඩ් පෙට්‍රෝලියම් සමගම ශ්‍රී ලංකාව තුළ කටයුතු කරන බවය.

ඉන්ධන අළෙවිය පමණක් නොව ඉන් ඉදිරියට ගොස් වටිනාකම් රැසක් සහිත සේවාවන් ලබාදීම මෙන්ම පාරිභෝගිකයාට නව අත්දැකීමක් ලබා දෙමින් ආහාර වෙළෙඳපලටද ප්‍රවේශවීමට යුනයිටඩ් පෙට්‍රෝලියම් සූදානම් බව අචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා පැවසීය.

උත්සව සභාව අමතමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ, 2022 වසරේ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ආර්ථික අර්බුධය සමඟ ඇතිවූ ඉන්ධන හිඟය සමථයකට පත් කිරීමට තවත් ඉන්ධන බෙදාහැරීමේ පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව පැණ නැගුණු බවයි.

මේ අනුව, ශ්‍රී ලංකාව මෙරට ඉන්ධන බෙදාහැරීමට ඇරයුම් කළ ආයතන ත්‍රිත්වයක් තෝරාගත් බවත් ඒ ත්‍රිත්වය අතර යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ද සිටි බව ඔහු සිහිපත් කළේය.

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ ඕස්ට්‍රේලියාවේ විධායක නිළධාරී ග්‍රාන්ට් මැක්ජෝජර් (Grant MCGregor) මහතා සිය අවුරුදු 30 කට වඩා වැඩි අන්තර්ජාතික බල ශක්තිය පිළිබඳ රටවල් 10 ක පමණ නැගී එන වෙළෙඳපොළ දැනුම තුළින් මෙහි මෙහෙයුම් කටයුතු පිළිබඳ පැමිණි පිරිස දැනුවත් කළේය.

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම, නව තාක‍්ණය සමඟ මුහුවුණු ඉන්ධන බෙදාහැරීමකට සූදානම් බව මෙම අවස්ථාව ඇමතූ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ග්‍රේෂන් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පුළුල් වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ මව් ශාඛාවේ මෙන් ගුණාත්මක පුළුල් සේවයක් ලංකාවේත් ක්‍රියාකිරීමට සමාගම අපේක්ෂා කරයි.

නව ව්‍යාපාරිකයන් සමඟ ශක්තිමත් ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගා ගනිමින් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සිය මව් ශාඛාවේ වටිනාකම් හා අගනාකම් අනුගමනය කරමින් පාරිභෝගිකයාට වඩාත් ගුණාත්මක සේවාවක් ඉටු කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන නව ගිවිසුම් ගත වීම සිදුවිය.

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ඛණිජ තෙල් අලෙවි සමාගමක් වන අතර ඕස්ට්‍රේලියාව පුරා සිය තෙල් බෙදා හැරීමේ මධ්‍යස්ථාන 500 කට අධික ප්‍රමාණයක් පවතී.

එය ඕස්ට්‍රේලියාවේ Avi Silver මහතා සහ Eddie Hirsch මහතා විසින් ආරම්භ කරන ලද අතර මෙම සමාගම ප්‍රථම වරට ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරික ආයෝජනය මෙලෙස ආරම්භ කළේය.