ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීම අද
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දීමට නියමිතයි.
සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ වුවත්, මේ වනවිට වොෂින්ටන් අගනුවරට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන්, දිවුරුම් දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
මීට පෙර අයහපත් ශීත කාලගුණය හේතුවෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උළෙලක් 1985 වසරේදී ද ගෘහස්ථව පැවැත්වූ අතර එහිදී ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ රොනල්ඩ් රේගන්ය.
පසුගිය නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් ට්‍රම්ප්, දිවුරුම් දෙන්නේ බයිබලය මත අත තබමිනි. ඒ, අගවිනිසුරුවරයා ඉදිරියේය.
ට්‍රම්ප්ගේ දිවුරුම් දීමෙන් අනතුරුව උප ජනාධිපති ලෙස ජේ. ඩී. වැන්ස් දිවුරුම් දිමට නියමිතයි.
ට්‍රම්ප් මීට පෙර 2017 වසරේ සිට 2021 වසර දක්වා ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.