ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (Video)

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (Video)

අමෙරිකානු හිටපු ජනාධිපති, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති මැතිවරණ රැළියක් අතරතුර දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එම වෙඩි තැබීමෙන් ට්‍රම්ප්ගේ දකුණු කණ අසල තුවාල වුණු බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වහා මැදිහත් වී ට්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ වෙඩි උණ්ඩයක් දකුණු කනේ වැදුණු බව තමාට දැනුණු බවයි.

වෙඩි තැබීමෙන් එම රැලියට සහභාගි වූ අයෙක් මියගොස් තවත් නරඹන්නන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව එරට රහස් ඔත්තු සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට දහසකට වැඩි පිරිසක් පැමිණ සිට ඇති අතර වෙඩි ප්‍රහාරය එම පිරිස අතරින් වේදිකාවේ සිටි ට්‍රම්ප් දෙසට එල්ල වී තිබේ.

වෙඩි ප්‍රහාරය එල්ල වුණු සැණින් සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ට්‍රම්ප් වටකරගෙන ඔහුට ආරක්ෂාව දෙද්දී, සෙසු හමුදා ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙඩික්කරු යැයි සැක කළ පුද්ගලයා වෙත යොමු වූ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන් තත්පර කීපයක් ඇතුළත පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු මියගිය බවත් පැවැසෙයි.

වෙඩි තැබීම සිදුකර ඇත්තේ ස්නයිපර් තුවක්කුකරුවෙකු විසිනි.

ආරක්ෂක අංශ සාමාජිකයන් ට්‍රම්ප් වටකර ගනිමින් වේදිකාවෙන් රැගෙන යද්දී ඔහු තමා හොඳින් සිටින බව පෙන්වමින් රැස්ව සිටි පිරිසට අත වැනුවේය.

“මට වෙඩි තිබ්බා.‍ වේදිකාවේ කතා කරමින් සිටිද්දී, මට වෙඩි හඬ කීපයක් ඇසුණා. හිටිහැටියේ දකුණු කණ අසලින් වේදනාවක් දැනුණා. අතගාලා බලද්දී, මගේ දකුණු කණ් පෙත්ත තුවාල වෙලා. මට වෙඩි වැදුණු බව වැටහුණේ එවිටයි.” යැයි වෙඩි ප්‍රහාරයට ලක්වී කඩිනමින් රෝහල්ගත කළ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලේ සිට සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහන් පළ කර තිබේ.

ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (VIDEO)