ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලින් වැඩක් ගන්න අලුත් සැලැස්මක්

ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලින් වැඩක් ගන්න අලුත් සැලැස්මක්

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව සමග එක්ව කටයුතු කිරීමට නියමිත බවත්, ඒ සදහාම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි පරිශ්‍රය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් මේ බව කියා සිටියේය.

“බ්‍රිතාන්‍යය යුගයේ සෑදුවත් මේ ටැංකි ඉතා හොද තත්වයේ තිබෙනවා. අවශ්‍යය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කරලා නල පද්ධතිය ඉදි කරලා නෞකාවලට තෙල් සපයන්නත් ගබඩා සංකීර්ණයක් හැටියට සංවර්ධනය කරලා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයත් එක්ක එකතුවෙලා සමගාමීව සිදුකරන වරාය සංවර්ධනයත් හරහා ඒ ප්‍රතිඵල රටට ලබාදෙන්න කටයුතු කරනවා”