
ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම අද සිට
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වන මගී ජනතාව වෙනුවෙන් අද (09) සිට 21 වැනි දින දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් සකස් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මහනුවර ,පුත්තලම, හයිලෙවල් / ලෝලෙවල් , දඹූල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 5ක් කේන්ද්‍ර කර ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් දුර ගමන් බස්රථ සේවා ක්‍රියාත්මක කරනු ලබන අතර ස්ථිර කාලසටහන්වල ධාවනය වන බස්රථ වලට අමතරව අතිරේක ගමන්වාර 500ක් ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.
මීට අමතරව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ,කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල , මහනුවර හා ගාල්ල යන ගමනාන්තවල සාමාන්‍ය ගමන්වාර වලට අතිරේකව විශේෂ දුම්රිය සේවා යොදවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
එමෙන්ම මාකුඹුර , කඩවත , කඩුවෙල හා කොළඹ බැස්ටියන් මාවත කේන්දු කර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල , මාතර , බදුල්ල , තංගල්ල , කතරගම වැනි ගමනාන්ත සඳහා අතිරේක බස්රථ ගමන්වාර 350ක් යෙදවීමටද කටයුතු යොදා තිබෙනවා.
එසේම මෙම කාලසීමාව තුළ ගම්බිම් බලා ගමන් ගැනීමට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත බස්නැවතුම්පළ වලට ලක්ෂ 8කට ආසන්න මගී ජනතාවක් පැමිණෙනු ඇති බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අපේක්ෂා කෙරෙනවා.
මෙම මගීන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් , ආරක්ෂාව සහ ප්‍රථමාධාර අදාල බස් පර්යන්ත වලට සපයා ඇති අතර විශේෂ රාජකාරි සඳහා නිලධාරීන් ද යොදවා තිබෙනවා.
ඉහත කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සත්කාරක ඒකකයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති අතර 1955 ක්ෂණීක දුරකතන අංකය සහ 0712595555 වට්ස්ඇප් අංකය මගින් මගී ජනතාවට සම්බන්ධ විය හැකි බවද එම කොමිෂන් සභාව දැනුම් දෙනවා.
එසේම ජාතික ගමනාගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් විස්තර 1958 සහ දුම්රිය විමසීම් සඳහා 1971 කෙටි දුරකතන අංක වලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.
මෙම කාලසීමාව තුළ මගී ජනතාවගෙන් වැඩිපුර ගාස්තු අයකිරීම සිදුවන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන කොරිඩෝ ආවරණය වන පරිදි දවසේ පැය 24 පුරා ජංගම පරීක්ෂක නිලධාරීන් සේවයේ යොදවා තිබෙනවා.