දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කෙරේ

දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කෙරේ

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවැසීය.

පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය නියමිත පරිදි ධාවනය කළ බවත් කොළඹින් පිටත් වීමට නියමිතව තිබූ දුම්රිය රැසක් අවලංගු කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

හවස් කාලයේ මේ ප්‍රමාණය තවත් වැඩිවීමට නියමිත අතර මෙයට ප්‍රධානම හේතුව වනුයේ 2018-05-09 වන දින අනුමත අමාත්‍ය මණ්ඩල තීරණය පදනම් කරගෙන මේ දක්වාම දුම්රිය එන්ජින් රියදුරු බදවා ගැනීමේ පරිපාටිය සකස් කිරීමට කටයුතු නොකිරීම නිසා නව බදවා ගැනීම් සිදු කිරීමට නොහැකි වීමත්, හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි HKW බණ්ඩාර මහතාගේ මැදිහත්වීම මත දැනට තුන්වන පෙළ හිටින දුම්රිය එන්ජින් රියදුරු වරුන්ගේ දෙවන පෙළ උසස්වීම් ලබාදීමට ගත් ක්‍රියා මාර්ග දිගින් දිගටම ප්‍රමාද කිරීමත් , දෛනිකව ධාවනය විය යුතු දුම්රියන් බොහෝ ප්‍රමාණයක් අවලංගු වීම, ප්‍රමාද වීම සම්බන්ධයෙන් කළමණා කාරීත්වය නිසි අවධානයක් යොමු නොකිරීමත් නිසාය.

මේ සදහා නිසි විසදුමක් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම ක්‍රියා මාර්ගයේ යෙදීමට ලොකෝමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය තීරණය කර ඇත.

එම අවලංගු කළ දුම්රිය අතරට කාර්යාල දුම්රිය රැසක්ද ඇතුලත් බවද ඉඳිපොළගේ මහතා වැඩිදුරටත් කීය.