රථවාහන පොලිස් නිලධාරීන්ගේ දීමනා ඉහළට

රථවාහන පොලිස් නිලධාරීන්ගේ දීමනා ඉහළට

රථවාහන රාජකාරි වල යෙදෙන පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 5000 කින් පමණ වැඩිකිරීම සදහා නව චක්‍ර ලේඛයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව නිකුත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව, උප ලේඛන තුනක් යටතේ පොලිස් ස්ථාන වෙන්කර ඇති අතර පළමු උප ලේඛනයට පොලිස් ස්ථාන 104 ක්, දෙවැනි උපලේඛනයට පොලිස් ස්ථාන 59 ක් සහ තෙවැනි උපලේඛනයට පොලිස් ස්ථාන 444 ක් ඇතුළත් වේ.

දැනට රථවාහන අංශයේ රාජකාරී කරනු ලබන ස්ථානාධිපතිවරයකුට රුපියල් 2500 ක්, පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට රුපියල් 2000 ක්, සැරයන්වරයකුට 1800 ක්, කොස්තාපල්වරයකුට 1600 ක් සහ පොලිස් රියැදුරකුට 1200 ක් වශයෙන් මාසික දීමනාවක් ලබාදේ.

නව චක්‍ර ලේඛනයට අනුව පළමු උප ලේඛනයට අයත් වන පොලිස් ස්ථානයකට අනුයුක්ත නිළධාරියකුට අවම මාසික දීමනාව රුපියල් 4000 සිට 7000 දක්වාත්, දෙවන උප ලේඛනයට අයත් පොලිස් ස්ථානයක රාජකාරී කරන නිලධාරියකුට රුපියල් 2750 සිට 5750 දක්වාත්, තෙවැනි උප ලේඛනයට අයත් පොලිස් ස්ථානයක රාජකාරී කරනු ලබන නිලධාරියකුට රුපියල් 2500 සිට 4500 දක්වාත් දීමනා ලබාදීම සිදුකෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව, රථවාහන ස්ථානාධිපතිවරයකුට රුපියල් 4500 ක්, පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට රුපියල් 5000 ක්, පොලිස් සැරයන්වරයකුට රුපියල් 4200 ක් කොස්තාපල්වරයකුට රුපියල් 4400 ක් සහ කොස්තාපල් රියැදුරකුට රුපියල් 2800 ක මුදලක් වැඩිකර ඇති බව පොලිස් මූලස්ථානය පැවැසීය.

Share This