උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (08) උදෑසන යථා තත්ත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි.

ඊයේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණේ, ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී දුම්රය මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන්.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරණ සීඝ්‍රගාමී දුම්රිය ඔහිය දුම්රිය ස්ථානය පසුකර ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ළඟාවෙමින් තිබියදී ඊයේ (07) රාත්‍රි එක්වරම දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී එම දුම්රිය එන්ජිම ගල්පර්වත අතරේ සිරවී නතර වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණි.

මේ නිසාවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1046 රාත්‍රි තැපැල් දුම්රිය අද උදෑසන වන තෙක් හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා උදෑසන 5.40 ට කොළඹ කොටුව බලා ධාවනය වූ අතර, ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයේ ගල්පර්වත තුල සිරවී තිබු කොළඹ කොටුව බදුල්ල අංක 1007 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය උදෑසන 5.00ට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ගමන් ආරම්භ කළ බවද නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය.

ඔහිය දුම්රිය මාර්ග අංශයේ සේවකයන් දියතලාව යුද හමුදා නිළධාරින් එක්වී දුම්රිය මාර්ගයට කඩා වැටී තිබු විශාල ගල්පර්වත මහත් වෙහෙසක් දරා ඉවත් කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.