ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5.8 ක ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5.8 ක ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට එළඹී ඇති බව වාර්තා වෙයි.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමටත් සංවර්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීමටත් හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නව ගිවිසුමට අත්සන් තැබීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගේ නියෝජනයෙන් සිදු කෙරුණා.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙන් ම අත්‍යවශ්‍ය මහජන සේවා සඳහා ද මෙම ගිවිසුම මගින් අවස්ථාව උදාවනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 පැරිස් සංසදයට සමගාමී ව ශ්‍රී ලංකාව සහ නිල ණයකරුවන්ගේ කමිටුව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි මෙලෙස අවසන් එකඟතාවට පැමිණ ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන ආනයන බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලියක ද නිරත සිටින බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන්, මෙම ක්‍රියාවලියට නායකත්වය දුන් නිල ණයකරුවන්ගේ කමිටුවේ සභාපතිවරුන් වන ප්‍රංශය, ඉන්දියාව සහ ජපානයට මෙන් ම චීනයේ අපනයන ආනයන බැංකුවට මෙන් ම ඔවුන්ගේ නොසැලෙන සහයෝගය සඳහා නිල ණයකරුවන්ගේ කමිටු සාමාජිකයින්ට අවංකව ම ස්තුතිය පළ කරන බවයි මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ණය අර්බුදයට විසඳුමක් සෙවීමට සහ මෙම වැදගත් සන්ධිස්ථානය සාක්ෂාත් කර ගැනීමට කමිටු ලේකම් කාර්යාලයේ කැපවීම පිළිබඳ ප්‍රශංසා එක් කරන අතර එය මෙරට ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කරන සහ වර්ධනයට හේතු වන බව ද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළා.