කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවට වසර 7කට ඡන්දය දැමීම තහනම් කරයි

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවට වසර 7කට ඡන්දය දැමීම තහනම් කරයි

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එල්ල වී තිබෙන චෝදනා කීපයක් සැලකිල්ලට ගෙන ඔහුට 2024 වසරේ සිට 2032 වසර දක්වා වසර 7ක කාලයක් කිසිදු මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීම අහෝසි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

කුරුණෑගල ව්‍යාපාරිකයකු වන ප්‍රියංකර ලියනගේ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හරේන්ද්‍ර බණ්ඩාර රත්නායක මහතා මෙම නියමයන් දැනුම්දී ඇත.

වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් පත්කරන ලද ඒකපුද්ගල කොමිසමකින් වැරැදිකරුවකු බවට පත්කර කුරුණෑගල නගරාධිපති තනතුරෙන් නෙරපා හැරීම සහ කුරුණෑගල ඓතිහාසික බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීමේ චෝදනාවට තුෂාර සංජීව විතාරණ මහතා අධිකරණය හමුවේ වැරැදිකරුවකු වී ඇති බවට ප්‍රියංකර ලියනගේ මහතා මැතිවරණ කොමිසමට කරන ලද පැමිණිල්ලෙන් කියා ඇත.

එම පැමිණිල්ල සැලකිල්ලට ගෙන නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති එම නියමයන්ට අනුව තුෂාර සංජීව විතාරණ මහතා 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ 2 වැනි වගන්තිය සමඟ කියැවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) ව්‍යවස්ථාව අනුව ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි කිරීමට හෝ ලියාපදිංචි කරන ලද ඔහුගේ නම තවදුරටත් ඡන්දහිමි නාම ලේඛනයේ තබා ගැනීමට හෝ නුසුදුසු පුද්ගලයකු වන බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

එසේම 2032 වසර දක්වාම අඛණ්ඩව ඡන්දහිමි නාම ලේඛනයේ මොහුගේ නම සඳහන් කළ නොහැකි බව ද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා දන්වා තිබේ.

නමුත් 2024 වසර සඳහා වන ඒකාබද්ධ ඡන්ද නාම ලේඛනයේ තුෂාර සංජීව විතාරණ මහතාගේ නම ලියාපදිංචි වී ඇති බැවින් යම් හෙයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත ඔහු පැමිණියහොත් 1891 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ අංක 41 (1) වගන්තිය යටතේ සඳහන් ආකෘතිය යටතේ ප්‍රකාශයක් ලබා දීමට ඡන්ද හිමියාට නියම කරන ලෙස ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත් එම ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති මෙම නියමයන්ට අනුව තුෂාර සංජීව විතාරණ මහතාගේ සියලු ප්‍රජා අයිතිවාසිකම් වසර 7ක කාලයකට අත්හිටුවා තිබේ.

කුරුණෑගල ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීමේ චෝදනාව යටතේ හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණය මඟින් නියම කරන ලද තුන් අවුරුදු බරපතළ වැඩ සහිත සිර දඬුවම අභියාචනාධිකරණය මඟින් අවුරුද්දකින් ගෙවී යන ලෙස අත්හිටුවීමෙන් අනතුරුව ඔවුන් සිර දඬුවමෙන් මුදාහරිනු ලැබීය.