සුනාමි ව්‍යසනයට අදට වසර 20 යි – මියගිය පිරිස් සිහිකර විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක්

සුනාමි ව්‍යසනයට අදට වසර 20 යි – මියගිය පිරිස් සිහිකර විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක්

සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 20ක් සපිරෙයි.

සුනාමියෙන් අහිමි වූ ජීවිත සිහිපත් කිරීම සඳහා අද (26) උදෑසන 9.25 සිට විනාඩි 02 ක කාලයක් නිශ්ශබ්දතාවය සුරකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදුවූ මෙම ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගොස් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් විය.

ඒ අනුව, 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙවර “ජාතික සුරක්ෂිතතා දිනය” දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.

සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

උත්සවය අද පෙරවරු 9.00 සිට 11.30 දක්වා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම්තුමාගේ සහභාගීත්වයෙනුයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.