ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමු විවාදය අද

ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමු විවාදය අද

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමු විවාදය අද (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී ය.

ඒ අනුව, මෙම විවාදය අද පස්වරු 3.00 සිට 5.00 දක්වා පැවැත්වෙන බවයි, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

අද විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සිය සහභාගිත්වය ස්ථිර කර ඇත.

මෙම විවාදය සඳහා ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ආරාධනා කර තිබුණද, ඊට එක්විය නොහැකි බව ජනාධිපතිවරයා ලිඛිතව දැනුම්දී තිබෙන බවයි, වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (06) පස්වරුව වන විටත් විවාදයට සහභාගිවන බව තහවුරු කර නොමැති බවයි, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ.